Saturday, April 19, 2025
Home » ලෝකයේ විශාලතම වාලම්පුරිය තබාගත් මාරවිල තරුණයෙක් මාට්ටු
ට්‍රයිටැන්ගේ හොරණෑව ලෙසින් හැඳින්වෙන

ලෝකයේ විශාලතම වාලම්පුරිය තබාගත් මාරවිල තරුණයෙක් මාට්ටු

by sachintha
July 8, 2024 2:51 am 0 comment

වටිනාකම කෝටියකට වැඩියි

ධනවතුන් තම විනෝදයට එකතු කරන දෙයක්

 

ලෝකයේ විශාලතම යෝධ වාලම්පුරිය ලෙස සැලකෙන ට්‍රයිටැන් වර්ගයේ වාලම්පුරියක් අලෙවි කිරීමට රැගෙන ආ තරුණයකු ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, වනජීවී නිලධාරීන් එක්ව මාරවිල නගරයේදී පෙරේදා (6) අත්අඩංගුවට ගැනිණි.

මීරිගම ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් ලබා දුන් තොරතුරක් මත ඔවුන්ගේ උපාය දූතයකු යොදා ගනිමින් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා කරුවලගස්වැව වනජීවී නිලධාරීන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.

මීරිගම ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් විසින් ඔවුන්ගේ උපාය දූතයන් යොදවමින් දින ගණනාවක් පුරා දැඩි කැපවීමක් සිදු කර අදා ට්‍රයිටැන් නමින් හැඳින්වෙන වාලම්පුරිය සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණේ රුපියල් ලක්ෂ 15කටය. මේ ට්‍රයිටැන් නමැති යෝධ වාලම්පුරිය අලෙවි කිරීමට රැගෙන ආ අවස්ථාවේදීම සැකකරු කොටු කර ගැනීමට බුද්ධි නිලධාරීහු කටයුතු කළහ.

අත්අඩංගුවට ගත් 24 හැවිරිදි මාරවිල පදිංචි මෙම සැකකරු පවසා ඇත්තේ තම සොහොයුරා විදේශ නැවක සේවය කරන බවත් එහිදී ඔහුට ලැබී නිවසට රැගෙනවිත් තිබියදී අලෙවි කිරීමට කටයුතු කළ බවය.

නමුත් මෙම සැකකරුගේ මව වනජීවී නිලධාරීන්ට පවසා ඇත්තේ තම පුතාට වෙනත් අයකු විසින් මෙම යෝධ ට්‍රයිටැන් වාලම්පුරිය විකිණීමට ලබාදී තිබූ බවය.

අත්අඩංගුවට ගත් සැකකරු හා මවගේ ප්‍රකාශ පරස්පර වීමත් සමඟ වනජීවී නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මේ වන විට ඒ සම්බන්ධව විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව කියයි.

ට්‍රයිටැන්ගේ හොරණෑව ලෙසින් හැඳින්වෙන මෙම වාලම්පුරිය ලෝකයේ විශාලතම වාලම්පුරිය ලෙස සැලකෙති. වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ට්‍රයිටැන් වාලම්පුරිය ද දිගින් අඟල් 16කට ආසන්න බවත් එහි වටය ප්‍රමාණය අඟල් 20 කට වැඩි බවද කියයි.

ට්‍රයිටැන් පියු යනු මුහුදේ යෝධ ගොළුබෙල්ලන් විශේෂයක් වන අතර එහි විද්‍යාත්මක නාමය චරෝනීයා ටිරයිටෝනිස් වෙති. කොරල්පර අතර ඇති විශාල මොලුස්කාවන්ගෙන් එකක් වන බවද කියයි.

රුපියල් කෝටියකට අධික මුදලකට ඇතැම් අවස්ථාවලදී මේ ට්‍රයිටැන් වාලම්පුරි අලෙවි වී ඇති අතර එය ධනවතුන් තම විනෝදයට එකතු කිරීමට පුරුදුව සිටින බවද කියයි.

වනජීවී නිලධාරීන් පවසන්නේ මෙවැනි විශාල ට්‍රයිටැන් වර්ගයේ වාලම්පුරි ඇත්තේ ඉතාමත් අඩු වශයෙන් බවත් ඒවා සොයා ගැනීම පවා අසීරු බවයි.

වාලම්පුරියක් නිවාස තුළ තබා ගැනීම වාසනාව ගෙනෙන බව පවසා තිබුණ ද එය මිථ්‍යාවක් බව වනජීවී නිලධාරීහු පවසති.

අත්අඩංගුවට ගත් සැකකරු වනජීවී නිලධාරීන් භාරයේ රඳවා ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පුත්තලම වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතාගේ උපදෙස් මත කරුවලගස්වැව අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතා සමඟ අඩවි සහකාර ජී.ජේ.වී.පී. වික්‍රමරත්න, වන සත්ත්ව නියාමක ජේ.ඩී.එම්. වනසිංහ, ක්ෂේත්‍ර සහකාර කේ.ඩී. දිනේෂ් කුමාර, රියැදුරු සුජිත් දිසානායක යන නිලධාරීන් මෙම වැටලීමට එක්ව සිටියහ.

ඒ සමඟම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙය වීමෙන් කුරුණෑගල ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් පුත්තලම කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ මැදිහත් වීමෙන් පොලිස් පරීක්ෂක එච්.කේ.එම්.ඒ. විජේරත්න පොලිස් සැරයන්වරුන් වන (39898) කුමාර, (66552) රෝෂාන්, පොලිස් කොස්තාපල් (85597) කරුණාතිලක යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

 

රක්ෂණ ශ්‍රියන්ත, පුත්තලම අතිරේක

හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT