පැරිස් යන පිරිස හදන්න අමාත්‍යාංශය කෝටි 4ක් වැය කරලා
කෝටි තුනකට වැඩිය ලැබුණත් යුපුන්ගේ වැඩ මදි
ප්‍රංශයේ පැරිස් නුවරදී මේ මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6ක් සුදුසුකම් ලබයි. රෝඩ් ටු පැරිස් 24 ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ පොරොත්තු ලේඛනයේ සිටි මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ අවසන් ක්‍රීඩකයා ලෙස පෙරේදා නිර්දේශ විය. ඒ අනුව බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ ඔලිම්පික් උලෙළට ඍජු සුදුසුකම් ලබාගත් පළමු ක්‍රීඩකයා වූ අතර, හෙල්ල විසි කිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ හා මීටර් 800 කාන්තා ශූරී තරුෂි කරුණාරත්න, මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන හා පිහිනුම් ක්‍රීඩාවෙන් ‘වයිල්ඩ් කාඩ්’ අවස්ථාව යටතේ කයිල් අබේසිංහ සහ ගංගා සෙනවිරත්න පැරිස් ඔලිම්පික් සුදුසුකම් ලබා ගත්හ. මෙවර ඔලිම්පික් බලාපොරොත්තු ඇතිව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 58කගෙන් යුත් සුපිරි සංචිතයක් කලක සිට නඩත්තු කළ අතර, එම සංචිතයෙන් ඔලිම්පික් සුදුසුකම් ලබා ඇත්තේ ඉහත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනා පමණක් වීම විශේෂත්වයකි. ඔලිම්පික් යෑමට දිරිදීමක් වශයෙන් සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 58ට රුපියල් කෝටි 4ක් පමණ ක්‍රීඩා අමාත්‍යාංශය වැය කළේ යැයි ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා ‘දිනමිණ’ට පැවසීය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 58ට හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට මාසිකව රුපියල් ලක්ෂය බැගින් ලබාදුන් අතර, පෝෂණ දීමනාව සෑම මාසයකම රුපියල් 60000 බැගින් ක්‍රීඩා අමාත්‍යාංශය පිරිනැමුවේය. එමෙන්ම පසුගිය ජනවාරි 1 සිට ජූනි 30 දක්වා සෑම විදෙස් තරගාවලියකදීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගුවන් ප්‍රවේශ පත්‍රයේ සිට වීසා ගාස්තු, හෝටල් පහසුකම් හා තරගාවලි ඇතුළත්වීමේ ගාස්තු ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දුන්නේය. මෙවැනි ක්‍රමවත් වැඩ සටහනක් කළ පළමු අවස්ථාව මෙය බව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කමක් දිනාගත්, දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වූ යුපුන් අබේකෝන්ට ඔලිම්පික් යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් (එවක තුන් කෝටි හැටහය ලක්ෂයක් පමණ) පිරිනැමුවද මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළට යුපුන් සුදුසුකම් නොලැබීම කනගාටුදායක විය. හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පැරිස් ඔලිම්පික් උලෙළට එක්කර ගන්නා ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලීමට ද ප්‍රතිචාර ලැබී නැත.
ප්‍රින්ස් ගුණසේකර