රටට විශාල විදෙස් විනිමයක් ගෙන දෙන අපනයන භෝගයක් ලෙස සැලකෙන මහවැලි එච්. කලාපයට අයත් මඩාටුගම, මැදගම පෙදෙසේ වසර ගණනක් පුරා සිදුකෙරෙන ඩ්‍රැගන්ෆෘට් වගාවට දිලීර රෝගයක් වැලඳීම නිසා මේ වන විට මෙම වගාව සම්පූර්ණයෙන්ම පාහේ විනාශවෙමින් පවතින බව පවසන වගාකරුවෝ මෙම රෝගය මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කිසිදු පැහැදිලි ක්‍රියාමාර්ගයක් නොගැනීම මහත් ගැටලුවක් වී ඇතැයි සඳහන් කරති.
මේ වන විට මැදගම ගම්මානයේ පවුල් තිහක් පමණ මෙම වගාවේ යෙදී සිටින අතර වගාවට වැලැඳී ඇති දිලීර රෝගය නිසා ගොවියන් පත්ව ඇත්තේ මහත් පීඩාකාරී තත්වයකටය. පෙරදිග දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළේද මෙම ඩ්‍රැගන්ෆෘට් සඳහා ඉහළ ඉල්ලුමක් පැවැති බැවින් එම අවධියේ හොඳ ආදායමක් මෙයින් ලබාගත් බව කියා සිටින මෙම වගාකරුවෝ පවතින තත්ත්වය නිසා මේ සියල්ල ඇනහිට ඇති බව ද සඳහන් කරති.
රජයේ කිසිදු ආධාරයක් නොමැතිව සිදුකර ඇති මෙම වගාවට මෙසේ අනපේක්ෂිත අයුරින් මෙවැනි දිලීර රෝගයක් බෝවීම නිසා සිය ආර්ථිකය ද සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇතැයි ද ගොවීහු කියා සිටිති.
මේ සම්බන්ධයෙන් මැදගම පෙදෙසේ ඩ්‍රැගන්ෆෘට් වගාකරුවකු වන ඩබ්ලිව්. ගුණපාල මහතා මෙසේ පැවැසුවේය.
“මම මෙම ඩ්‍රැගන්ෆෘට් වගාව පටන් ගෙන වසර පහක් පමණ ඇති. ප්‍රදේශයේ ප්‍රථමයෙන්ම මෙම වගාව පටන් ගත්තේ මමයි. මේ සඳහා අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය මම ගෙනාවේ ඇඹිලිපිටියෙන් මුලදී මෙම වගාව ඉතා සාර්ථක වුණා. මම මෙහි පළමු අස්වැන්නෙන් සිදුකළේ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය ඉදිරිපිටදී දන්සලක් දීමයි. පසුව මෙහි අස්වැන්න මැදපෙරදිග රටවලට පවා යැව්වා. ඒකෙන් හොඳ ආදායමක් ලැබුවා. නමුත් දැන් ඒ සියල්ල විනාශ වෙනවා. මෙම රෝගය මර්දනයට තවමත් හරිහැටි බෙහෙතක් නෑ.
මෙම රෝගයෙහි මූලික ලක්ෂණය වී ඇත්තේ මෙම ශාඛ පත්‍රයෙහි මුලම පණුවෝ කෑමයි. ඒ සමඟම ගහත් මැලවී යනවා. මෙම පෙදෙසේ පවුල් තිහක් පමණ මෙම වගාවේ යෙදෙනවා. මොවුන් සියලු දෙනාටම මුහුණදීමට සිදුවී ඇත්තේ එකම දෙයටයි. එබැවින් මෙම දිලීර රෝගය මර්දනය සඳහා කඩිනමින් පිළියමක් අවශ්‍ය බැවින් රජයේ අවධානය මේ කෙරෙහි යොමුවිය යුතු බව කාගේත් මතය බව හෙතෙම අවසාන වශයෙන් පැවැසීය.
මාතලේ දිස්ත්‍රික් සමූහ ඒ.ඒ.එල්.ඩයස්