Home » හඳුගල ගුරුවල ගෙදර අසල පාලමෙහි ඉදිකිරීම් අතරමඟ බලධාරීන්ට කීවත් බීරි අලින්ට වීණා වයනවා වගේ

හඳුගල ගුරුවල ගෙදර අසල පාලමෙහි ඉදිකිරීම් අතරමඟ බලධාරීන්ට කීවත් බීරි අලින්ට වීණා වයනවා වගේ

-ප්‍රදේශවාසීහු පවසති

by sachintha
July 8, 2024 2:34 am 0 comment

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි හඳුගල – කැබැල්ලකැටිය මාර්ගයේ කිරම ඔය හරහා තිබෙන හඳුගල ගුරුවල ගෙදර අසල පාලමෙහි ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර කර දමා ඇතැයි ගම්වාසීහු පවසති. මෙයට වසර හයකට පමණ ඉහතදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති මෙම පාලමෙහි දෙපස පැති බැමි ඉදිකර ඇති අතර පාලම ඉදිකිරීම සඳහා යොදා තිබෙන කම්බි මේ වන විට දිරාපත් වෙමින් තිබෙන බවද එම ජනතාව වැඩිදුරටත් කියා සිටිති. එමෙන්ම පාලමෙහි ඉතිරි වැඩ නිම කිරීම සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් බාල්කද ගෙනවිත් පාලම ආසන්නයේ ගොඩගසා තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.

වලස්මුල්ල, කිරම, කටුවන, දෙයියන්දර ආදී නගර සඳහා ගමනාගමන කටයුතු කරගෙන යාමේදී මෙම පාලම භාවිත කරනු ලබන ගම්මාන රැසක පවුල් 500කට අධික ප්‍රමාණයක ජනතාව පාලම ඉදි නොකිරීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව ඇති අතර මෙම ගම්මානවල ජීවත්වන ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අතරමඟ නවතා දමා ඇති හඳුගල, ගුරුවල ගෙදර පාලමෙහි ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කර කඩිනමින් වැඩ අවසන් කර ජනතාවගේ ප්‍රයෝජනය සඳහා විවෘත කර දෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ හඳුගල පදිංචි මහින්ද නිරෝෂන් නෙත්තසිංහ මහතා මෙසේ කීවේය.

‘හඳුගල මඩොල්ආර ගුරුවල ගෙදර පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 2018 වසරේදී. නමුත් පාලමේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම නතර කර දමා වසර හයක් විතර වෙනවා. පාලමේ පැති බැමි ඉදිකර අවසන්. කොන්ක්‍රීට් බාල්කත් ගෙනල්ලා තියෙන්නේ. නමුත් වැඩ අවසන් කරන බවක් පේන්න නැහැ. පාලම ඉදිකිරීමේදී යොදා තිබෙන කම්බි මේ වන විට දිරාපත් වෙමින් තිබෙන්නේ. බලධාරීන්ගේ ඇස ගැටෙන්නේ නැති වුණාට මේවා ජාතික අපරාධ කියලා තමයි කියන්න තියෙන්නේ. අපේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂි කර්මාන්තයයි.

ඒ අතුරින් තේ සහ කුරුඳු වගාවන් තමයි මේ ගම්මානවල වැඩි වශයෙන් කරගෙන යන්නෙ. පාලම නොමැතිකමින් අපි දැඩි පීඩාවට පත්වෙලා ඉන්නේ. කිරම ඔය පිටාර ගලන දිනවලට අපි කොටුවෙලා ඉන්නේ. එගොඩ මෙගොඩ යන්න විදිහක් නැහැ. තහඩු යොදා තාවකාලික පාලමක් ඉදිකර තියෙනවා. ගංවතුර ගලන විට ඒ පාලමත් කඩාගෙන යනවා. බලධාරීන්ට කොතෙක් කීවත් වැඩක් නැහැ. බීරි අලින්ට වීණා වයනවා වගේ වැඩක්.’

දෙයියන්දර සමූහ තමරසිරි විජේසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT