විදේශයක සිටින ජාවාරම්කරුවකු විසින් රුපියල් ලක්ෂ 150ක මුදලකට අලෙවි කිරීම සඳහා සූදානම් කරන ලද ගජමුතු දෙකක් සමඟ ප්‍රධාන සැකකාර කාන්තාවක් හා සැකකරුවන් දෙදෙනකු මීරිගම ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු මත කරුවලගස්වැව හා නිකවැරටිය වනජීවී නිලධාරීන් හා ඒකාබද්ධව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් කුලියාපිටිය, වඩුමුන්නේගම ප්‍රදේශයේ ඉකුත් 5 වැනි දින අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය, වඩුමුන්නේගම පදිංචි 33 හැවිරිදි කාන්තාවක් හා 35 වැනි වියේ පසුවන සැකකරුවන් දෙදෙනකු බවත් මොවුන් ද වඩුමුන්නේගම පදිංචිකරුවන් බවත් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ බේකරියක සේවය කරමින් සිටියදී බවත් පොලිසිය පැවැසීය.
විදේශ රටක සිටින ජාවාරම්කරුවකු සමඟ මීරිගම ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් සම්බන්ධ වෙමින් මෙම ගජමුතු ජාවාරම මෙහෙයවමින් එය රුපියල් ලක්ෂ 150ක මුදලට අලෙවි කිරීමට සූදානම්ව ඇති අතර පසුව එය ලක්ෂ 90කට ගුවන් හමුදා උපාය දූතයින් විසින් මිලදී ගැනීමට යාමේදී වනජීවී හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.
මෙම ගජමුතු දෙක රැගෙන ආ සැකකාර කාන්තාව විදේශයේ සිටින ජාවාරම්කරු සමඟ සම්බන්ධ වෙමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව ද පැවැසේ.
අදාළ කාන්තාව විවාහක කාන්තාවක් බවත් ඇය විවාහ වී සිටි පුද්ගලයා මේ වන විට ඇය හැර ගොස් සිටින බව ද ඔහු ඇත් දළ හා නිදන් හෑරීමේ නිරත වූ සැකකරුවකු බව ද වනජීවී නිලධාරීන් සිදු කළ මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ. අදාළ කාන්තාව කලින් විවාහ වූ පුද්ගලයා හැරයාමෙන් පසු ගුවන් හමුදාවේ විශ්‍රාමික භටයකු සමඟ දිවි ගෙවමින් සිටින බවත් ඔහු සමඟ මෙම ගජමුතු ජාවාරම මෙහෙයවා ඇති බවත් පැවැසේ.
අදාළ වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නිකවැරටිය වනජීවී අඩවි කාර්යාලයට භාර දීමට කටයුතු කර තිබුණි. වැටලීම සඳහා කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතා සමඟ එහි නිලධාරීන් හා නිකවැරටිය වනජීවී අඩවි ආරක්ෂක පී.ඩී.එල්. නිශාන්ත මහතා සමඟ නිලධාරීන් ද එක්ව තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරිය නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පුත්තලම අතිරේක
හිරාන් ප්‍රියංකර ජයසිංහ
රක්ෂණ ශ්‍රියන්ත