සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් නවීන තාක්ෂණය යොදා ගනිමින් ව්‍යාපාර කටයුතු සිදු කිරීම තුළින් ව්‍යාපාර ක්ෂේත්‍රයන් තුළ නව පිබිදීමක් ඇති කළ හැකි බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සාර්ථක කර ගැනීම සඳහා සහාය ලබා දෙමින් එම ක්ෂේත්‍රයන්හි ව්‍යාපාර තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා යොමු කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාව යටතේ දෙහිඕවිට සහ දැරණියගල කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූ වැඩසටහන් සඳහා එක් වෙමිනි. දෙහිඕවිට සහ දැරණියගල කේන්ද්‍ර කර ගනිමින් පැවැති මෙම වැඩසටහන සඳහා 500කට ආසන්න දේශීය ව්‍යවසායකයන් පිරිසක් සහභාගි වූ අතර එහිදී එම ව්‍යවසායකයන්ට GMP සහතික ලබාගැනීම පිළිබඳ අවබෝධය ලබා දීම, අන්තර්ජාලය හරහා වෙළඳ පහසුකම් ලබා ගැනීම පිළිබඳ දැනුම්වත් කිරීම හා Freelancing පිළිබඳ හඳුන්වා දීම මෙන්ම ව්‍යවසායකයන් සඳහා හඳුන්වාදී ඇති තාක්ෂණික යන්ත්‍රෝපකරණ පිළිබඳ දැනුම්වත්භාවය ලබා දීම ද සිදු විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා මෙසේ ද පැවසීය. “හැම විටම ගතානුගතික සාම්ප්‍රදායික සිතුවිලි හා සාම්ප්‍රදායික ක්‍රමවේද සමඟ කිසිදු ක්ෂේත්‍රයකට ඉදිරියට යන්නට බැහැ. ඒ නිසා දැන් අප අලුතින් සිතිය යුතුයි. ඒ අනුව වැඩ කළ යුතුයි. මේ නිසා තමයි මෙරට ව්‍යාපාර සඳහා තාක්ෂණික නවෝත්පාදනයන් හඳුන්වා දීමට හා එවැනි තාක්ෂණික නවෝත්පාදනයන් ප්‍රචලිත කිරීම සඳහා විශාල වැඩ කොටසක් ඉටු කරමින් සිටින්නෙ. පසුගිය කාලය පුරාද අප ඉතාම මහන්සියෙන් වගේම වගකීමෙන් මේ කටයුත්තට උර දුන්න අතර මේ වන විට එහි සාර්ථක ප්‍රතිඵල අපට දැක ගන්නට හැකි වී තිබෙනවා.”
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය විදාතා අංශය, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, රාජ්‍ය පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතනවල නියෝජිතයන් ද සහභාගි විය.
නෙත්මි පූජනී රත්නායක