Home » ෆැන්ටසියක රියැලිටිය!

ෆැන්ටසියක රියැලිටිය!

by sachintha
July 8, 2024 2:48 am 0 comment

ඉන්ද්‍රජාලික යථාර්ථවාදය අසම්මත කතා රටාවක් ලෙසද, නවකතාවේ සීමා – මායිම් බිඳ දැමීමක් ලෙසද, බරපතළ වචන හරඹයක් ලෙසද සමහරු හඳුන්වති. තව සමහරුන්ගේ මතයට අනුව එය මුළුමනින්ම පාහේ අද්භූත සිද්ධීන්ගෙන් ගහන වේ. මේ අනුව කතාවට අදාළ තාර්කික සම්බන්ධය හා විශ්වසනීය ගතිය අහෝසි වන්නේ යැයි තව සමහරු පෙන්වා දෙති.

කොලොම්බියානු ලේඛක ගේබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් නවකතාව සම්බන්ධයෙන් ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශෛලිය හඳුන්වා දුන් ප්‍රමුඛයා ලෙස හඳුන්වනු ලැබේ. ඔහුට අනුව මේ ශෛලිය උකහාගෙන ඇත්තේ ලතින් අමෙරිකානු ජනශ්‍රැතියෙන්ය. ඔහුගේම වචනවලින් කිවහොත් ස්වකීය ආත්තම්මා කතාන්දර කියාදුන් නිදහස් කතා රටාව හා එම කතාවල ඇති අද්භූත ස්වරූපය ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ පදනම වෙයි. මේ කතා රටාව තුළ ඇති විශේෂ ලක්ෂණ කිහිපයකි.

(I) විස්මය

(II) අසම්මතය

(III) ආකර්ෂණය

(IV) කුතුහලය

(V) නිදහස් ආකෘතිය

ඉන්ද්‍රජාලික යථාර්ථවාදය අසම්මත කතා රටාවක් ලෙසද, නවකතාවේ සීමා – මායිම් බිඳ දැමීමක් ලෙසද, බරපතළ වචන හරඹයක් ලෙසද සමහරු හඳුන්වති. තව සමහරුන්ගේ මතයට අනුව එය මුළුමනින්ම පාහේ අද්භූත සිද්ධීන්ගෙන් ගහන වේ. මේ අනුව කතාවට අදාළ තාර්කික සම්බන්ධය හා විශ්වසනීය ගතිය අහෝසි වන්නේ යැයි තව සමහරු පෙන්වා දෙති. කුමක් වුව නූතන ලෝක නවකතාවේ ජනප්‍රියම ශෛලිය ලෙස එය හඳුන්වා දිය හැකිය.

නවකතාවේ ඉතිහාසය හදාරන විට පෙනී යන සත්‍යයක් වන්නේ නව ප්‍රබන්ධ විලාසය බිහිවීම සඳහා සුරංගනා කතා, මිථ්‍යා කතා, දේව කතා, උපහැරණ කතා ආදී ජනශ්‍රැති බලපා ඇති බවය. නවකතාවට පමණක් නොව; සිනමාවට, කවියට හා වේදිකා නාට්‍යයට ද ජනශ්‍රැති බලපා ඇත. නූතන නවකතාවේ ජනප්‍රිය හා වැඩිම අලෙවිය සහිත කෘති පමණක් නොව; සම්මානිත හා සම්භාව්‍ය කෘති කෙරෙහිද ජනශ්‍රැති බලපා ඇති බව පර්යේෂණ මින් හෙළිදරව් කරගෙන තිබේ.

ප්‍රබන්ධ කතා පිළිබඳ පර්යේෂණ පවත්වන සාහිත්‍ය විද්වතුන්ගේ අවධානය වැඩියෙන්ම යොමු වී ඇති කලාප දෙකක් ලෙස අප්‍රිකානු මහාද්වීපය හා ලතින් අමෙරිකානු කලාපය පෙන්වා දිය හැකිය. මැක්සිකානු සමාජ විප්ලවය (1910 – 1920) මේ චින්තන රටාව බිහිවීම කෙරෙහි තදින් බලපා ඇතැයි විශ්වාස කරන පිරිසක් ද සිටිති. ඔවුන්ගේ මතයට අනුව ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යනු මානව දයාව පෙරටුකරගත් දර්ශනයකි. එයින් මිනිසාගේ නිදහසට හා සම අයිතියට පාර කපා ඇත.

අප ඉහත පූර්විකාව ලියා තබන්නේ පරාක්‍රම ඒකනායකගේ ‘පටිඝය’ නම් ප්‍රබන්ධය සම්බන්ධයෙන් සටහනක් තැබීමට පූර්වගාමී ලෙසය. එහි හැඳින්වීමෙහිලා කතුවරයා සඳහන් කර ඇත්තේ එම කතාවට අපේ ජනශ්‍රැති උපයෝගී කරගෙන ඇති බවය.

“මේ කතාන්දරයට අපේ ජනකතාන්දරවල එන චරිත එකතුකර ගත්තේ, මේ ඩිජිටල් යුගයේ අපේ සමාජයට ජන කතන්දර තවත් එක් මතකයක් විතරයි කියන තැනට තල්ලු වෙලා එතැනට බටහිර කතන්දර ඇවිත් නතර වෙලා කියනවා වගේ පෙනෙන නිසයි.”

(පටිඝය < හේතුපාඨය)

නවකතාව හා ජනශ්‍රැතිය අතර සම්බන්ධය ගැන නිරීක්ෂණය කරන කෙනකුට විශේෂ සාධක තුනක් කෙරෙහි සැලකිල්ල දක්වන්නට හැකි බව සමහරු පෙන්වා දෙති.

(I) කතා වස්තු ගොඩනැඟීම සඳහා ජනශ්‍රැතිවලින් ආදර්ශ උපුටා ගැනීම නැතහොත් ජනශ්‍රැතිවල කතා සාරයට අලුත් හැඩයක් ලබාදී නැවත ලිවීම.

(II) ජනශ්‍රැතියේ කතාන්දර ආකෘතියෙන් නව ශෛලියක් හා අලුත් නිමාවක් ගොඩනඟා ගැනීම.

(III) ජනශ්‍රැතියේ භාෂාව හා අද්භූත චරිත- සිදුවීම් ආශ්‍රයෙන් පාඨකයා තුළ විස්මයක් ඇති කිරීම.

පරාක්‍රම ඒකනායක මතුකරන ප්‍රධාන තර්කයක් වන්නේ අප සතුව ඇති සාගරයක් බඳු ජනශ්‍රැතිවලින් කතාකාරයන් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැති බවය. එය සත්‍යයක් බව බොහෝ දෙනා පිළිගනු ඇත. ජනශ්‍රැති ආශ්‍ර‍ෙයන් නව ශෛලියක් බිහි කිරීමට තබා ඒවා ප්‍රතිරචනය කරන්නට හෝ උත්සාහයක් – වෑයමක් අප අතර නැත. කිහිප දෙනකුගේ පරිශ්‍රමය හා කැපවීම මත ජනශ්‍රැති ආරක්ෂා වීම පමණක් සිදු වෙයි. ඒ අතින් බලන විට පරාක්‍රම ඒකනායක බරපතළ වගවීමක් සිදුකර තිබේ.

“පටිඝය” නවකතාවට පාදක වන්නේ එක්තරා අද්භූත ගම්මානයකි.

“මේ ගම්මානයේ එක් පැත්තකින් මහා මූකළානක් තිබුණා….

මහා මූකලාණත් ගම්මණ්ඩියත් වට කරගෙන මහා ගඟක් ගැලුවා ගම්මණ්ඩියේ පිරිමි හිටියා.

පිරිමින්ට වඩා ස්ත්‍රීන් ජීවත් වුණා. ඒ එකමත් එක කාලයක…..”

(පිටුව < 10)

නවකතාව ආරම්භ වන්නේ ආකර්ෂණීය සිද්ධි නිරූපණයක් හා කතාවේ තීරණාත්මක සාධකයක් මතු කරමින්ය. කතුවරයා විවෘත හා නිදහස් පිළිවෙතක් අනුගමනය කරමින් සිය කතාව විකාශය කරයි.

“කළු මේඝාකාශය මුලින්ම පිනි කඳුළක්, ඊළඟට මුතු කඳුළක් බිමට අතහැරියේ බිම බලන් හිටපු අතුකොළ ඉති තෙමාගෙන නුග කොළවලට මහා වැහිගෙඩි වැටෙද්දී මුතු ලෝකාස්වාද කෙළවරින් එළියට පැන්නා.

“වහිනවා!”

“මුතු ඉඳගෙන තනපට ගැටගසාගෙන චීත්ත රෝද ඉණවට ගැට ගසා ගත්තා. හීනියා හිටියේ නුග ගහේ කොළ මැද්දෙන් වැටෙන වැහි ගෙඩි දිශාව බලාගෙන. හීනියාගේ හොට කෙළින්ම නුග ගහට පැදකුණු කරන්නාක් මෙන් වැනෙමින් තියෙනවා මුතු දැක්කා. මුතු විසිරුණු කොණ්ඩය අඹරලා ගෙඩියක් ගැට ගහ ගත්තා.” (පිටුව < 11)

චිත්‍රපටයක දර්ශනයක් සේ කතුවරයා සිය ආකර්ෂණීය ජවනිකාව වචනයට නඟා තිබේ.

“රාගය

ඇවිළෙයි

දැවෙයි

අවුළවයි

නිවෙයි

නිවි නිවීද දැවෙයි”

කතුවරයා මුලින් සඳහන් කරයි. එය මේ කතාවේ සාරය ලෙස ගත හැකිය.

නිදහසේ ජීවිතය භුක්තිවිඳින චරිත ගණනාවක් අපට මේ ගම්මානය තුළදී මුණගැසෙති. ඒ අතර යක්ෂයෝ දෙවියෝ මෙන්ම පෙරේතයෝ ද සිටිති. පන්සලේ නායක හිමියන් අපවත්වී ආදාහන කටයුතු කතාව මුලදීම සිදුවන මුත් උන්වහන්සේගේ ආත්මය කතා කරයි. උපදේශන සපයයි. ඒවා ජීවිතය සම්බන්ධයෙන් වැදගත් ප්‍රකාශ ලෙස පවතී.

“උන්වහන්සේගේ ඒ මධුර මනෝහර ස්වරය පිරිතක් වගේ ඇහුණා.

ගැට ගහගත්තමයි දුක, ගැටගහපුවා ලිහලම පිටත්වුණා නම් දුකක් නෑ. අපි ගැට ගැහෙන කොට තදින් ගැට ගැහෙන්න නරකයි. ලිහන්න පුළුවන් විදිහට ගැටේ ගහන්න ඕනෑ.”

(පිටුව < 31)

නවකතාව පිළිබඳ නූතන නිර්වචන කියවන විට එහි ආධ්‍යාශ හෙවත් පරවාර්ථ කිහිපයක් පෙළගැස්විය හැකිය.

(I) ආස්වාදය – වින්දනය – ප්‍රහර්ෂය

(II) ජීවිතය පිළිබඳ අර්ථ – සාධනය

(III) භාෂාව හා සංස්කෘතියට කරන බලපෑම

(IV) සමාජ අභිවර්ධනයට කරන බලපෑම

මේ කුමන සාධකයක් අතින් ගත්ත ද පරාක්‍රමගේ නවකතාව යම් සාධනීය බලපෑමක් කරන්නේ යැයි කිව හැකිය.

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT