Wednesday, April 23, 2025
Home » ආර්ථිකය පිට පොට යැවීම

ආර්ථිකය පිට පොට යැවීම

by sachintha
July 8, 2024 1:00 am 0 comment

ඇත්ත පත්තරේ කාටුන් ශිල්පී ජෙෆ්රි යූනුස් අය වැයක් කිට්ටු වෙද්දී සිරිත් පරිදි අඳින කාටුනයක් තිබේ. මුදල් අමාත්‍ය රොනී ද මැල්, කොළපතක් රැගෙන හිඟන්නෙක් සේ ලෝකය වටේ සැරිසරන බව එහි චිත්‍රණය වී ඇත්තේය. මේ රටේ ආර්ථිකයේ සත්‍යය කතාව එයය. ගෙවුම් ශේෂය හිඟ වන විට ඇත්තේ විසඳුම් දෙකකි. මුදල් අච්චු ගැසීම සහ ණය ගැනීමය. මේ කාරණා දෙකෙන් තොරව, ගෙවුම් ශේෂය පියවා ගත නොහේ බව අප කාලයක් තිස්සේ දැන උන් නමුදු ඒ සඳහා වෙනත් පිළියමක් අපේ අතේ තිබුණේ නැත.

අපනයනය දෙසට නැමුණු කර්මාන්ත ආරම්භ නොකරන්නේ නම්, අය වැය සඳහා සදාකාලික පිළියම වනුයේ ‘කොළපතේ’ න්‍යායය.

බංකොලොත්භාවයෙන් ශ්‍රී ලංකාව යන්තම් හිස ඔසවා ගත්තේය. ඒ වනාහි සැලසුම්සහගත වැඩපිළිවෙළක ප්‍රතිඵලයකි. එතැන් සිට අපේ සැලසුම විය යුත්තේ ‘හිස එසැවීම’ මිස තවත් වටයකින් ‘වළට බැසීම’ නොවේ. මේ සඳහා ඇති පිළියම් සියල්ල එකට ගොනු කර ආණ්ඩුව නව පනතක් ගෙනැවිත් තිබේ. මේ රටේ ආර්ථිකයේ පරිවර්තනය උදෙසා වන එය ආර්ථික පරිවර්තන පනතය.

එහි ඉලක්ක ගණනාවකි. 2027 වන විට මෙරට දළ දේශීය නිෂ්පාදනය, 5%ක වේගයෙන් වර්ධනය කර ගැනීම ඒ අතරින් ප්‍රමුඛය. ඍණ අගයක මෙතෙක් කල් පැවති දළ දේශීය නිෂ්පාදනය එවන් ඉලක්කයක් සඳහා ඉබේ ගමන් කරන්නේ නැත. ඒ සඳහා ජාතියක් ලෙස න්‍යාය පත්‍රගත වූ වගකීමක් තිබිය යුතුය. 2027න් පසු 8%ක ආර්ථික වර්ධන වේගයක් කරා අප යා යුතුය.

මේ ආදී ඉලක්ක ගණනාවක් ආණ්ඩු මාරු වන විට, මාරු නොවන තත්ත්වයක පවත්වාගෙන යා යුත්තේය. මේ රටේ ජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයෝ හැමදාම අවධාරණය කරන ලද්දේ, එහෙව් ‘නොසැලෙන ප්‍රතිපත්තියකි’. ඒ සඳහා වන න්‍යාය පත්‍රයක් නෛතික ආකාරයෙන් සම්මත කර ගැනීම රටට අවශ්‍ය හෙයින් ආර්ථික පරිවර්තන පනත කරළියට පැමිණ ඇත්තේය. 2025 වසර වන විට මෙරට විරැකියාව 5%ක් දක්වා අඩු කිරීම, 2040 වන විට මේ රටේ අපනයන මූලික ආර්ථිකයක් ඇති කිරීම යන සැලසුම් ප්‍රකාරව මෙම පනත ඉදිරිපත් කර ඇත්තේය.

මේ තීරුවේ අද අවධානයට පාත්‍ර වන්නේ අපනයනය මූලික ආර්ථිකයක් ඇති කිරීම යන කාරණයය.

ඩොලර් හිඟය හේතුවෙන් අපනයන බර ගණනක් මෙරට ගෙන ඒම, තහනම් ලැයිස්තුගත කිරීමට රටට සිදුවිය. දැන් ඒ සියල්ලම පාහේ ලිහිල් කර ඇත්තේය. එසේ වුවත් පරිභෝජනය සඳහා ආනයන තහනම ලිහිල් කිරීම නොව නිෂ්පාදනය සඳහා ආනයන තහනම ලිහිල් කිරීම සිදු විය යුත්තේය.

විනිමය සංචිත ඉතිරි ගැනීම අරමුණු කර ගනිමින්, ආනයන සීමා පවත්වාගෙන යෑම යනු යල් පැනගිය සංකල්පයකි. ඒ සඳ විනිමය සංචිත වර්ධනය සඳහා අවශ්‍ය වනුයේ, අපනයන ආදායම වැඩි කර ගැනීමය.

මියන්මාරය සහ කාම්බෝජය යන රටවල් දෙක, 2000 වසරේ ලබන ලද අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන එකකි. එම වසරේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 6කි. 2020 දී මියන්මාරයේ හා කාම්බෝජයේ අපනයන ආදායම ඩොලර් බිලියන 20ක අගයකට පැමිණියේය. එහෙම වුවත් තවම ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැරකෙන්නේ, බිලියන 10 සිට 12 අතරේය.

අවුරුදු 25කට පෙර ලංකාවේ සහ වියට්නාමයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන පහක මට්ටමේ තිබුණේය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2000 වසරේ දී සියයට 33ක් වූ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම, 2021 වන විට 15%ක් දක්වා පහත වැටුණේය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ගණනය කළ විට වියට්නාමයේ වර්තමාන අපනයන ප්‍රතිශතය 92%කි.

අපනයන ආදායම අනුව මෙම ගණනය කිරීම සිදුකළහොත්, 1993 දී ශ්‍රී ලංකාවේ සහ වියට්නාමයේ, අපනයන ආදායම ඩොලර් බිලියන තුනක පමණ මට්ටමේ විය. 2021දී වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් බිලියන 335කි. 2021 දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකන් ඩොලර් බිලියන 13කි.

සංඛ්‍යා ලේඛන සහ ආර්ථික විද්‍යාව යන මාතෘකා දෙකම පාඨක මනසට රුචියක් ගෙන දෙන්නේ නැත. එහෙත් රටේ ආර්ථිකය සරුසාර කර ගැනීම උදෙසා මෙම ඉලක්කම් ජනී ජනයා දැන සිටිය යුත්තේය. හැදෑරිය යුතුය. රුපවාහිනී සංවාද ආදිය සඳහා පැමිණෙන සමහර පිරිස්, මෙම සංඛ්‍යා ලේඛන පැත්තක දමා නන් දොඩවා ‘පොර ටෝක්’ දෙන්නේ, මෙවන් සංඛ්‍යා ලේඛන කෙරෙහි පාඨකයා දක්වන ඇල්මැරුණු උනන්දුව නිසාය.

අපනයනය ඉලක්කගත කර සහ මේ රටේ ආර්ථිකය සඳහා සවිමත් න්‍යාය පත්‍රයක් ලෙස, ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට, සිරිත් පරිදි ජවිපෙ උසාවි ගියේය. ජවිපෙ වෙනුවෙන් අධිකරණයට ගිය සුනිල් හඳුන්නෙත්ති ඉල්ලා ඇත්තේ රටේ “ආනයන පදනම් කරගත් ආර්ථිකයක් අවශ්‍ය” බවය. මේ රට මෙතැනට වැටී ඇත්තේ ආනයන මත්තේ යැපීම නිසාය. හැත්තෑවේ බලයට පැමිණි සිරිමාවෝ ආණ්ඩුව, ආනයන ආදේශක ප්‍රතිපත්තිය ආරම්භ කළේ රටේ කර්මාන්ත අංශය මුලින්ම නඟා සිටවිය යුත්තේ එතැනින් නිසාය. ඒ ආණ්ඩුවේ කැරළි ගැසූ ජවිපෙ අද දවසේ ද අල්ලාගෙන ඇත්තේ වැරදි පොටය. ආර්ථික පරිවර්තන පනත යනු මේ රටේ ආර්ථිකයේ ඉදිරි පියවර සඳහා වන නෛතික ප්‍රවේශයකි. ඒ සඳහා කැපවීම මිස වැරදි පොටවල් කරකවා, යළි රට උගුලේ හෙළීම අපගේ කාර්යය නොවිය යුත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT