අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතා දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයකු බවත්, සම්පන්දන් මහතා සහ තමා නිරතුරුවම නොබෙදුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ නායක, හිටපු විපක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාගේ අවමංගල්‍ය උත්සව සභාව අමතමින් ඊයේ (7) පස්වරුවේදී ත්‍රිකුණාමලයේදීය.
ආර්. සම්පන්දන් මහතාගේ අවමංගල්‍ය උත්සවය පක්ෂ, විපක්ෂ දේශපාලන නායකයන් මැති ඇමැතිවරුන් ඇතුළු විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් ඊයේ (07) පස්වරුවේ සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:
“ආර්. සම්පන්දන් මහතාගේ අභාවය සමඟ මට දිගුකාලීන මිතුරකු අහිමි වී තිබෙනවා. මා එතුමා හඳුනාගත්තේ මීට වසර 50කට පෙර එතුමා නීතිඥවරයකු ලෙසත්, මා නවක නීතිඥවරයකු ලෙසත් කටයුතු කළ අවස්ථාවේ. 1977 සම්පන්දන් මහතාත් මාත් නවක මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී මා සහාය දුන්නේ ත්‍රිකුණාමලයේ අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික නවරත්නම් මහත්මයාටයි. එහෙත් ඒ තරගයෙන් සම්පන්දන් මැතිතුමා ජයග්‍රහණය කළා.
“විශේෂයෙන්ම වෙනම රාජ්‍යයක් ඇති කළ යුතුයි කියන යෝජනාව අනුව එදා පාර්ලිමේන්තුව දෙකට බෙදිලා තිබුණා. සම්පන්දන් මැතිතුමාට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සමඟ විශේෂ සම්බන්ධකමක් තිබුණා. එතුමා සෑම අවස්ථාවකම ප්‍රකාශ කළේ මේ රට බෙදන්න බැහැ කියලා. එතුමා කිව්වා ෆෙඩරල් ක්‍රමය දෙන්න, නැත්නම් අප ඇති කළ දිස්ත්‍රික් සභා ක්‍රමයට වඩා බලතල ලබා දෙන්න කියලා.
“අප අතර ප්‍රශ්නයක් තිබුණා. මම ත්‍රිකුණාමලයේ ඉඩමක් තරුණ සේවා සභාවට පවරාගත් අවස්ථාවේ අප අතර පාර්ලිමේන්තුවේ විවාද පවා ඇති වුණා. එතුමා මෙය පාලනය කිරීමට ගත් උත්සාහයත්, අප ගත් උත්සාහයත් සාර්ථක වුණේ නැහැ. 1983දී එතුමා ලංකාවෙන් පිටත් වෙලා ගියා. එතුමා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු අප නැවත සම්බන්ධකම් ඇති කරගත්තා. 2009 වසරේ ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසු ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට අදාළව මට එතුමා සමඟ නැවත වැඩ කිරීමට අවස්ථාව ලැබුණා.
“එතුමා කිසි විටක වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටියේ නැහැ; හැම වෙලාවෙම කිව්වේ සියලු දෙනා එකට සිටිය යුතුයි කියලා. දෙමළ ජනතාව දුක් විඳින බවත් ඔවුන්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳිය යුතු බවත් එතුමා ප්‍රකාශ කළා. අප මැතිවරණවලදී එකට කටයුතු කර තිබෙනවා වගේම පොදු අපේක්ෂකයන්ට සහාය දී තිබෙනවා. විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අප සියලු දෙනා එකතු වෙලා වැඩ කළා; ඊට පෙර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් වැඩ කටයුතු කළා. මා එතුමා සමඟ නිතරම අතීත සිදුවීම් පිළිබඳ, ඒ වගේම දේශපාලනය ගැන කතා කරනවා. එතුමා 1948දී මේ රට නිදහස ගන්නා අවස්ථාව දුටු එකම මන්ත්‍රීවරයා. එතුමා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස කටයුතු කළා. එතුමා එතැනදී තම චරිතය මැනවින් පෙන්නුම් කළා. එතුමා දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරලා ඒ පිළිබඳ කටයුතු කළා පමණක් නොවෙයි; විපක්ෂ නායක ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. එතුමා ඒ අවස්ථාවේ කටයුතු කළේ නියම විපක්ෂ නායකයකු ලෙසයි. නියම විපක්ෂ නායකයකු කියන්නේ විකල්ප අගමැතිවරයෙක්. 2018 වසරේ ආණ්ඩුව තුළ ඇති වූ අර්බුදයේදී මට අගමැතිකම අහිමි වූ අවස්ථාවේ එතුමා විපක්ෂ නායක ලෙස නියම නායකත්වය පෙන්නුවා. වෙනත් හේතු නිසා අපේ සාකච්ඡා සාර්ථක වුණේ නැහැ. විශේෂයෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු අපට දේශපාලන විසඳුම් ඉදිරිපත් කිරීමට පසුබිමක් තිබුණේ නැහැ.
“මා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු මේ ප්‍රශ්න පිළිබඳ එතුමා සමඟ සාකච්ඡා කළා. ඒ වගේම ද්‍රවිඩ පක්ෂ සහ මන්ත්‍රීවරුන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළා. එහිදී ඉතා වැදගත් අදහස් කිහිපයක් එකතු වුණා. අප දෙදෙනාගේම එකඟත්වය වුණේ නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ මේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගැනීමයි. මේ සාකච්ඡා පැවැත්වෙන අතරතුර රට බංකොලොත්භාවයෙන් නිදහස් කරගැනීමේ කටයුතු වෙනුවෙන් මට මූලිකත්වය දීමට සිදු වුණා. ඒ නිසා අපේ සාකච්ඡා අවසන් මාස කිහිපය තුළ කල් තැබීමට සිදු වුණා. මේ පාර්ලිමේන්තු සතියේදී මෙම සාකච්ඡා නැවත ආරම්භ කළ හැකිද කියා මම සොයා බැලුවා. එහෙත් ඒ අවස්ථාව ලැබෙන්න පෙර සම්පන්දන් මැතිතුමා අප අතරින් වෙන් වුණා. ඒත් අප මේ සාකච්ඡා ඉදිරියට ගෙන යමින් ඒවා අවසන් කළ යුතුයි. ජාතික ඉඩම් කොමිසමේ කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා. තමන්ගේ ගම්මාන අත්පත් කරගැනීම පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට ප්‍රශ්න තිබෙනවා. නීතියෙන්ම ඒ ප්‍රශ්න විසඳීමට මේ කොමිසමට බලය දීමට මා බලාපොරොත්තු වනවා.
“පළාත් සභා මැතිවරණ පැවැත්වීම අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. එහෙත් දැන් අප සාකච්ඡා කර තීරණය කර තිබෙන්නේ පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමටයි. කවුරු අධිකරණයට ගියත් මේ වසරේ ජනාධිපතිවරණය පවත්වනවා. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන අතර, ඉන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වෙනවා. අලුත් ක්‍රමයේ පවතින ගැටලුකාරි තත්ත්වය නිසා පැරණි ක්‍රමයට අනුව පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලිම් ඉදිරිපත් වුණා. ඒ සඳහාත් අප අතර එකඟත්වයක් පැවතියා. කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ මන්ත්‍රීකම තබාගෙන මේ සඳහා තරග කිරීමට ඉඩ දීමටත් තීරණය වුණා. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් පොලිස් බලතල නැතිව සෙසු බලතල ගණනාවක් මධ්‍යම ආණ්ඩුවෙන් ගැනීමට පාර්ලිමේන්තුවේ දැන් සිටින ප්‍රධාන ඇමැතිවරුන් සමඟ සාකච්ඡා කරනවා. වෙනත් බලතල ගැන ඉන් පසුව සාකච්ඡා කළ හැකියි.
“අලුත් යෝජනාවක් ලෙස ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන්නේ බලය බෙදා හැරීමේ දී 13 වැනි සංශෝධන රාමුව තුළ උපරිම බලය විමධ්‍යගත කිරීමටයි. ඒ වගේම නවාස් කොමිසමේ වාර්තාව ගැන සාකච්ඡා කිරීමට තිබෙනවා. විදේශ ඇමැතිතුමා මට දැනුම් දී තිබෙනවා සමඟිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම් සභා පනත් කෙටුම්පත (TRC) ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා කියලා. ඊට අමතරව ජන සභා ක්‍රමය පිළිබඳවත් අප දැන් සාකච්ඡා කර එකඟත්වයකට පැමිණ තිබෙනවා. මේ සාකච්ඡා ඉදිරියට ගෙන යමින් අවසන් කිරීමට අප බලාපොරොත්තු වනවා.
“සම්පන්දන් මැතිතුමා ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වගේම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක්. අප දෙදෙනාම නොබෙදුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ පුද්ගලයන්. ඒ සඳහා අප දෙදෙනා එකඟත්වයෙන් යුතුව සාකච්ඡා ඉදිරියට ගෙන ආ අතර, ඒ කටයුතු අවසන් කිරීමට සියලු දෙනාගේ සහාය දෙන ලෙස ඉල්ලා සිටිනවා.”
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තොෂ් ජා, තමිල්නාඩු ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ නායක කේ. අන්නමලෙයි මහත්වරුන් ඇතුළු ඉන්දිය නායකයන් කිහිප දෙනකුද අවමංගල්‍ය උත්සවයට එක්ව සිටි අතර, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, එම්.ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, මාවෙයි සේනාධිරාජා, එස්. රාසමාණික්‍යයම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහත්වරුන් සමඟ දේශපාලන පක්ෂ නායකයන් සහ නියෝජිතයන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක් වී සිටියහ.
ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද