ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික භෝග චීන වෙළෙඳපොළට ආනයනය කිරීමට දැනට තිබෙන අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය එකඟතාව පළ කර ඇත.
චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය Wang Lingjung මහතා සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු එම අමාත්‍යාංශ නිලධාරින් අතර පසුගියදා (03) පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී මේ එකඟතාව පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ වගා කරන කෘෂිකාර්මික භෝග එනම්, තේ, පොල්, අන්නාසි සහ කුළුබඩු වර්ග මෙන්ම ධීවර නිෂ්පාදන වැඩිදුරටත් චීන වෙළෙඳපොළට අපනයනය කිරීමේ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙහිදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණය කළේ 2023 වසරේදී ශ්‍රී ලංකාව විසින් මහජන චීනයට අපනයනය කරන ලද සමස්ත කෘෂිකාර්මික අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 3.3ක් බවයි. චීන රජය විසින් මෙරටින් මිල දී ගන්නා ලද තේවල වටිනාකම 2.5%කින් ඉහළ ගොස් ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
අපේ රටේ නිෂ්පාදනය කරන ලද තේ, ඇඳුම් පැලඳුම්, ස්වාභාවික රබර් නිෂ්පාදන, මැණික්, ඛනිජ ද්‍රව්‍ය සහ ක්‍රියාකාරී කාබන්, පොල් ආශ්‍රිත නිෂ්පාදන හා රසකැවිලි මෙන්ම ධීවර නිෂ්පාදන ද චීනයට අපනයනය කර ඇතැයි ද පැවැසූ ඇමැතිවරයා ඉල්ලා සිටියේ චීනය සතු විශාල වෙළෙඳපොළේ වැඩි ඉඩකඩක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මික නිෂ්පාදන සඳහා ලබාදෙන ලෙසයි.
එයට ප්‍රතිචාර දැක්වූ චීන රජයේ උප අමාත්‍ය Wang Lingjung මහතා චීන වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා ඇති ඉඩකඩ දැනට 36%වන අතර, එය තවදුරටත් පුළුල් කරන බව ප්‍රකාශ කළේය. මේ ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන උසස් ප්‍රමිතියෙන් යුත් එළවළු සහ පලතුරු මිලදී ගැනීම පුළුල් කරන බව ද ප්‍රකාශ කළේය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරින් ද චීන රජය නියෝජනය කරමින් නිලධාරිහු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.