අදියර දෙකක් යටතේ පැවති ඉරාන ජනාධිපතිවරණයෙන් “මසූඩ් පෙසෙෂ්කියන්” (Massoud Beseshkian)ජය ගෙන තිබේ.
ඔහුගේ ප්‍රතිවාදියා වූ “සයිඩ් ජලීලි” අභිබවා මිලියන 16 දශම 3 ක ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගනිමින්, “මසූඩ් පෙසෙෂ්කියන්” එරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින බව, ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඉරානයේ හිටපු ජනාධිපති “ඊබ්‍රහිම් රයිසිගේ” හදිසි අභාවයෙන් පසු එම ධුරයේ අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඉරාන හදිසි ජනාධිපතිවරණයට අදාළ ඡන්ද වීමසීම වට දෙකකින් සමන්විත විය.
ඉකුත් ජුනි 28 වැනිදා පැවති පළමු වටයේ ඡන්ද විමසීමේදී “මසුඩ් පෙසෙෂ්කියන්” සියයට 42.5 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ඉදිරියට පැමිණ සිටියේය.
“සයීඩ් ජලීලි” සියයට 38.7 ක ඡන්ද ප්‍රමාණයක් ලබා දෙවැනි ස්ථානය හිමි කර ගත්තේය.
එහිදී කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වූයේ නැත.
ඒ අනුව, ඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි අදියරක් පැවැත්වීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තීරණය කළේය.
ඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීමට අදාළව ප්‍රධාන තරගය පැවතුණේ, “මසූඩ් පෙසෙෂ්කියන්” සහ “සයිඩ් ජලීලි” යන අපේක්ෂකයින් අතරයි.
ඊයේ අවසන් වූ දෙවැනි වටයේ ඡන්ද විමසීමේ ප්‍රකාශිත ඡන්දවලින් වැඩ ප්‍රමාණයක් හිමි කර ගැනීමට “මසූඩ් පෙසෙෂ්කියන්” සමත් වූ බව, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
“මසූඩ් පෙසෙෂ්කියන්” විසින් මිලියන 16.3 ක ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගෙන ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ ‘සයිඩ් ජලීලි’ විසින් මිලියන 13.5 ක ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගෙන ඇති බව, එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, එරට හෘද ශල්‍ය වෛද්‍යවරයෙකු සහ නීති සම්පාදකයෙකු වන “මසූඩ් පෙසෙෂ්කියන්” ඉරානයේ නව ජනාධිපතිවරයා බවට තේරී පත්ව සිටින බව, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.