ජාත්‍යන්තර සමුපකාර දිනය අදට (ජූලි 06) යෙදී ඇත, මේ ලිපිය ඒ නිමිත්තෙනි
දැනට වර්ෂ ගණනාවක පටන් නොදියුණු සහ දියුණු වේගෙන එන රටවල උත්සවශ්‍රීයෙන් පවත්වාගෙන එන ජාත්‍යන්තර සමුපකාර දිනය අප ද සමරමු. ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම පමණක් නොව තරගකාරී බවකින් මහජනතාවට සෙතක් සැලසීම අරමුණු කරගෙන සමුපකාර ව්‍යාපාරය පටන්ගෙන ඇත. ලාභයම නොතකා සේවය පෙරදැරි කොටගෙන මහජනයාගේ අභිවෘද්ධිය සඳහා උපකාර වන මේ අනගි ව්‍යාපාරය අනුස්මරණය කිරීම සෑම සමුපකාරයකුගේම යුතුකමකි.
වර්ෂ 1844දී එංගලන්තයේ රොක්ඩේල් නමැති කුඩා ග්‍රාමයේ ප්‍රථමයෙන් සමුපකාර ව්‍යාපාරය ආරම්භ කළ පුරෝගාමීන් 28 දෙනාගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ සෑම රටකම පාරිභෝගික සමුපකාර සමිති පැතිර තිබේ.
සමුපකාර ව්‍යාපාරයේ පීතෘවරයා ලෙස සැලකෙන්නේ රොබට් ඕවන් මහතායි. වර්ෂ 1922 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සමුපකාර දිනය ලෙස නම් කළ අතර, එතැන් පටන් වසරක් පාසා ජූලි මාසයේ පළමුවන සෙනසුරාදා දිනයට එය යෙදී ඇත.
ලංකාවේ සමුපකාර ව්‍යාපාරය
අවුරුදු 100කට අධික කාලයකට පෙර මෙරට ආරම්භ වූ සමුපකාර ව්‍යාපාරය දැන් අස්සක් මුල්ලක් නෑර පැතිර ඇත. දුප්පත් ගොවි ජනයා ණය බරින් මුදාගැනීමට පටන් ගත් සමුපකාර ණය දෙන සමිති ඔවුන්ගේ ගොවිතැන් ආදිය දියුණු කර ගැනීමට බොහෝ උපකාර වූහ. දැනට එම ණය දෙන සමිති තව තවත් දියුණු වී සමුපකාර බැංකු බවට පරිවර්තනය වී තිබේ. ණයගැතිකමින් වෙළී සිටි ගොවි ජනතාවට පමණක් නොව, ග්‍රාමයේ වෙසෙන මේ සමුපකාර බැංකුවල සාමාජිකයන්ට ලබාගත හැකි වන පරිදි නොයෙකුත් ණය පහසුකම් සලසා දී තිබේ. ක්‍රමක්‍රමයෙන් දියුණු වූ සමුපකාර ව්‍යාපාරයට නව මුහුණුවරක් ලැබුණේ 1931න් පසුවය. සමුපකාර ගොවි ද්‍රව්‍ය නිපදවීමේ හා අලෙවි කිරීමේ සමිති කීපයක් මේ කාලයේ දී ආරම්භ කිරීමෙන් පසු ගොවිජනයා නිපදවන ද්‍රව්‍ය සාධාරණ මිලකට විකුණා දීමට මේ සමිති මහෝපකාරී වී ඇත. සමුපකාරයෙන් ලබා ගැනීමට පුළුවන් වෙනත් උපකාර ගැන මහජනයාට හා ආණ්ඩුවටත් වැටහී ගියේ 1942 ජපන් ආක්‍රමණයෙන් පසුවය.
සමුපකාර සමිති ආරම්භ කර ඒවායේ සේවය කිරීමට ස්වේච්ඡා සේවකයන් ලෙස ඉදිරිපත් වූ අය තමන්ට හා තමන්ගේ රටට කරන ලද සේවය අමතක කළ නොහැකිය. මේ කාලයේදී ආරම්භ වූ 32ක් පමණ වූ කඩ සමිති 1944 වර්ෂයේදී 4000 දක්වා වැඩි වූ අතර, ලංකාවේ මුළු ජනතාවගෙන් තුනෙන් දෙකොටසකට වැඩි ප්‍රමාණයක් එහි පාරිභෝගිකයෝ වූහ.
යුද්ධ කාලයේ දී ආරම්භ කළ මෙම කඩ සමිතිවලින් සමහර සමිතිවලට වංක පුද්ගලයින් ඇතුළු වීම නිසා එම සමිති සුළු වශයෙන් හෝ අප්‍රසාදයට ලක් විය. නමුත් එම සමිති සහ ගම්වල ජන ප්‍රධානීන්ගේ මැදිහත්වීමෙන් අවංක පුද්ගලයින් යොදා එම සමිති ප්‍රාණවත් කර ඇත. සමුපකාර ගොවි ද්‍රව්‍ය නිපදවීමේ හා අලෙවි කිරීමේ සමිති මඟින් කර තිබෙන සේවය හා කළ හැකි සේවය ඉතා විශාල කොට සැලකිය හැකිය. ඒ කාලයේ දී සමහර ආහාර ද්‍රව්‍ය හා ගොවි ද්‍රව්‍ය පිටරටින් මෙරටට ගෙන්වා ගැනීමේ දී හා අලෙවි කිරීමේ දී ද මෙම වෙළෙඳ සමිති විශාල සේවයක් පාරිභෝගික ජනතාවට සිදු කර ඇති බව පැහැදිලිය.
අද ලංකාවේ පවතින සමුපකාර ව්‍යාපාරය මැතිවරණ කොට්ඨාස මට්ටමින් සීමා සහිත විවිධ සේවා සමුපකාර සමිති ලෙස ප්‍රතිසංවිධානය කර තිබේ. දැනට ලංකාවේ විවිධ සේවා සමුපකාර සමිති 250කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවා තිබෙන බව සඳහන් කළ හැකිය. මෙම සමිතිවල පාලනයට තෝරනු ලබන්නේ අදාළ පාරිභෝගික සාමාජිකයන්ගේ මහජන ඡන්දයෙන් අධ්යක්ෂ මණ්ඩලයකි. ලංකාවේ වෙළෙඳ ව්‍යාපාරය රාජ්‍ය අංශයෙන් සියයට 20ක් පමණ ද පුද්ගලික අංශයෙන් සියයට 50ක් පමණ ද, ඉතිරි සියයට 30 වෙළෙඳාම කරනු ලබන්නේ මෙම සමුපකාර සමිතිවලින් බව ද සඳහන් කළ හැකිය.
අප රටේ තිබෙන සමුපකාර ව්‍යාපාරයට එක් වී ඇති බැංකු ක්‍රමය ග්‍රාමීය බැංකුවයි. එම ග්‍රාමීය බැංකුව මහජන බැංකුව මඟින් පාලනය වන අතර, අදාළ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ප්‍රදේශයේ මහජනතාවගේ නොයෙකුත් ණය පහසුකම් සැපයීම එම ප්‍රදේශයේ සාමාජිකයින්ගේ රත්රන් බඩු උකසට තබාගෙන මුදල් ලබාදීම හා එම සමිතියේ සේවකයන්ට ග්‍රාමීය බැංකු ගිණුම් ක්‍රමය යටතේ මුදල් ඉතිරි කිරීම හා ණය පහසුකම සැලසීම වැනි කටයුතු ග්‍රාමීය බැංකුව මඟින් ඉටු කරයි.
අද පවතින සමුපකාර ව්‍යාපාරයට විවිධ සේවා සමුපකාර සමිති පමණක් නොව සමුපකාර කාර්මික සමිති, ගොවි ද්‍රව්‍ය නිපදවීමේ හා අලෙවි කිරීමේ සමුපකාර සමිති, කිරි නිපදවීමේ හා අලෙවි කිරීමේ සමුපකාර සමිති, කෘෂි නිෂ්පාදන හා අලෙවි කිරීමේ සමුපකාර සමිති සහ ආරෝග්‍යශාලා සේවා පහසුකම් සැපයීමේ සමුපකාර සමිති, ධීවර සමුපකාර සමිති මෙයට එකතු වී ඇත.
අප රටේ සමුපකාර ව්‍යාපාරය දියුණු වී තිබෙන නමුත් එහි ඇති අඩුලුහුඬුකම් සාමාන්‍ය වශයෙන් පවතී. මීට හේතුව සමුපකාර ප්‍රතිපත්ති ගැන මනා අවබෝධයක් මහජනයා තුළ නොතිබීමයි. බොහෝ දෙනෙක් සමුපකාර ව්‍යාපාරය ගැන උනන්දු වූවත් අතළොස්සක් ජනතාව මෙම අනගි ව්‍යාපාරය දියුණු කිරීමට උනන්දුවක් නොදක්වන අතර, එයින් ඵල ප්‍රයෝජන ගැනීමට පමණක් ඉදිරිපත් වී සිටී. මෙම ව්‍යාපාරය තව තවත් දියුණු කිරීම සඳහා වෙනමම අමාත්‍යාංශයක් රජය මඟින් ඇති කර ඇත. මෙවන් අවධියක සමුපකාර ව්‍යාපාරය පිළිබඳ එම අමාත්‍යාංශයෙන් කෙරෙන වැඩ කටයුතු අප විසින් ප්‍රශංසා මුඛයෙන් සිහිපත් කළ යුතුය. තවදුරටත් ලංකාවේ මෙම ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට විශිෂ්ට ව්‍යාපාරයක් ලෙස සාර්ථකව පවත්වාගෙන යෑමට මෙම අමාත්‍යාංශයට හැකි වේවා’යි ප්‍රකාශ කළ යුතුව ඇත.
දේශාන්තර පතළ කීර්තිය
මෙම ව්‍යාපාරය ඉදිරි කාලයේදී තව තවත් දියුණු කිරීම සඳහා හා මනා අවබෝධයක් ලබාදීමට ශ්‍රී ලංකාවේ පාසල් තුළ විෂයක් වශයෙන් උගැන්වීමට අවස්ථාව උදා වී තිබේ. දැනට සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා ගම් ප්‍රධානීන්ට පුහුණු කරන පොල්ගොල්ලේ සමුපකාර අභ්‍යාස විද්‍යාලය ලෝකයේ සෙසු රටවලද ප්‍රසිද්ධියක් ලබා තිබේ. පසුගිය අවුරුදු කිහිපය තුළ ලංකාවේ පමණක් නොව පිටරටින් පැමිණි ආධුනිකයෝ කීපදෙනෙක්ම මෙහි පුහුණුව ලබාගත්හ.
අග්නිදිග ආසියාතික රටවලින් සමුපකාරය ගැන විශිෂ්ට කීර්තියක් ලබා තිබෙන අප ලංකාව ඒ ගැන ප්‍රීති විය හැකි යුතුවාක් මෙන්ම තව තවත් දියුණු වීමට ඇති අවස්ථාව දැන් උදාවී තිබේ. ඩිජිටල් තාක්ෂණය සමඟ ඇතිවන ගෝලීයකරණයට අභියෝග කිරීම සඳහා සමුපකාරය ද ඩිජිටල් කිරීමට කාලය එළඹ ඇත. මුළු ලෝකයේම සමුපකාරිකයන් ප්‍රීති වන අද දින අපිද සමුපකාරයේ ‘ඔබ සැමටත් – සැම ඔබටත්’ යන අනගි ආදර්ශ පාඨය සිතට ගැනීමෙන් එහි ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමෙන් හා අධිෂ්ඨාන කර ගැනීමෙනුත් මුළු ලෝකයාටම හා විශේෂයෙන් ශ්‍රී ලංකාවට සාමය හා සතුට ඇතිවේවායි ප්‍රාර්ථනා කරමින් 102 වැනි සමුපකාර දිනය සමරමු.
ජයසිරි කෝට්ටගොඩ
සභාපති – සීමාසහිත පාණදුර
විවිධ සේවා සමුපකාර සමිතිය