තනි හා කණ්ඩායම් පන්ති පවත්වමින් සිසුවියන් දෙදෙනකු අපයෝජනය කර මාස ගණනාවක් සිවුරේ සැඟවුණු සැකකාර උපකාරක ගුරුවරයා අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍යය අබියසදී නිකවැරටිය මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
නිකවැරටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට අනුව ශ්‍රමණ වේශයෙන් සැඟව සිටියදී පෙරේදා (03) මෙසේ අත්අඩංගුවට ගැනුණේ කැබැල්ලෑව ප්‍රදේශයේ පාසලක ආරක්ෂක සේවකයෙකුව කටයුතු කළ නිකවැරටිය ප්‍රදේශයේ අයෙකි. සැකකරු තමන් පාසලක සේවය කරන බව අඟවමින් එසේ තනිපුද්ගල හා සුළු කණ්ඩායම් පන්ති නිවෙස්වලට ගොස් පවත්වා ඇති බව පොලිසයට තොරතුරු ලැබී තිබිණ.
සැකකරු මින් පෙර අවස්ථාවකදීද එවන් සමාන චෝදනාවක් හේතුවෙන් බන්ධනාගාරගත වූවෙකු බවටද ලද තොරතුරු අනුව පොලිසිය සිය විමර්ශන සිදුකරන බව පවසයි. එමෙන්ම අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු හලාවත ආරණ්‍යයක පැවිදිවූ බව පැවසුවත් භික්ෂු අනන්‍යතාව හා මහණ කළ ලොකු හාමුදුරුවන් පිළිබඳව අනන්‍යතාව ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇති හෙයින් සැකකරු සැබවින්ම භික්ෂුවක්දැයි යන්නද පරීක්ෂණ ක්‍රියාත්මක බවද පොලිසිය පවසයි. පොලිසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරු විසින් මෙවන් අපයෝජනයන්ට තවත් දරුවන් ලක්කර ඇති දැයි විමර්ශන සිදුකරන බවයි.
අදාළ වින්දිත දරුවන් අවුරුදු 14 -15 යන වයස් කණ්ඩයේ පසුවූවන් වූ අතර ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ එම සිද්ධිය සම්බන්ධව පැමිණිලි ලැබී තිබුණත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටීම හේතුවෙන් එසේ නීතියේ රැහැනට කොටුකර ගැනීමට අපහසු වී තිබිණ.
මින් පෙර සැකකරු කැබැල්ලෑව ප්‍රදේශයේ පාසලක මුර රැකියාවේ නියුතුව සිටියදී ගුරුවරයෙකු බව හඳුන්වා දෙමින් එසේ නිකවැරටිය ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වා තිබූ බව පොලිසියට තොරතුරු ලැබී ඇත. එහිදී සැකකරු විසින් ඉකුත් නොවැම්බරයේ ආදාළ වින්දිත දරුවන් දෙදෙනා එසේ අපයෝජනයට ලක්කර තිබූ අතර එහිදී බාලවයස්කරුවන්ගේ මවුපියන් පොලිසියට කළ පැමිණිල්ල නිසා සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබිණ.
සැකකරු නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.