ප්‍රවීණ, සම්මානනීය රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන මෙරටට අමුත්තියක නොවේ. වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍යය කොතැනත් එක සේ රංගන හපන්කම් පෑ සම්මානනීය රංගන ශිල්පිනියක වන ඇය නිෂ්පාදිකාවක ලෙසින් ද නමක් දිනා ගත්තාය. එසේම එළැඹෙන 09 වැනිදා ඇයට තවත් සුවිශේෂී දිනයකි. ඒ, එදින සවස 6.30ට සිනමාවේ ශ්‍රියාවිය, ශ්‍රියාණි අමරසේන රංගාවතරණය. එසේත් නැත්නම් දශක 06ක ඇයගේ රංගන දිවිය අලළා උපහාර උලෙළක් කොළඹදී පැවැත්වෙන හෙයිනි. අපේ මේ කතාබහ ඒ වෙනුවෙනි.
අපි ඉතිහාසයෙන්ම මේ ගමන අරඹමු. කොහොමද එදෙස හැරී බැලුවාම දැනෙන්නේ?
ලොකු සතුටක් දැනෙනවා. කලාවෙන් බොහෝ දේ ලැබුණු කෙනෙක් මම. වේදිකාවෙන් මං කලාවට ආවේ. ඒ නරි බෑන නාට්‍යයෙන්. මේ වන විට චිත්‍රපට 105කට රංගන දායකත්වය දීමට මට අවස්ථාව ලැබී තියෙනවා, ඊට සම්මාන, ඇගයීම් ආදියත් හුඟක් ලැබුණා. ටෙලි නාට්‍ය ගත්තත්, බර්ට්‍රම් නිහාල්, සුදත් රෝහණ ආදීන් ඇතුළු බොහෝ දෙනකුගේ නිර්මාණවලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ සියල්ල සතුටට කාරණා.
සිනමාවේ ශ්‍රියාවිය ගැනත් කියමු ද?
මගේම සහෝදර කලාකරුවන්ගේම සහභාගිත්වයෙන් මගේ රංගන දිවියට දශක 06ක් පිරෙන අවස්ථාවේ ඇගයීම් උලෙළක් එළැඹෙන 09 වැනිදා සවස 6.30ට කොළඹ BMICHහිදී එනමින් පැවැත්වෙන්නේ. එය මට තවත් අභිමානයට කාරණයක්. එය ඇතුළුව එදින ප්‍රාසංගික අංග රැසකින් හැඩ වෙනවා. එසේම, ‘මතක සිත්තම්’ කෘතිය එළිදැක්වීමත් කෙරෙනවා. ඊට ප්‍රවීණ විචාරකයන් කිහිප දෙනකු පුවත්පත්, සඟරාවලට මගේ රංගනය ගැන ලියූ ලිපි සමඟ මගේ ජීවිත කතාවේ සංධිස්ථානත් ඇතුළත් වෙනවා. මේ සියල්ලත් එක්ක එදින “විරාගයේ – සරෝජනී” මැයෙන් විරාගය චිත්‍රපටයේ අරවින්දගේ චරිතයට පණ දුන්, ප්‍රවීණ රංගන ශිල්පී, සනත් ගුණතිලකයන් එදින පැවැත්වෙන එකම දෙසුම සිදු කරනවා. ප්‍රවීණ නිවේදිකා ඉඳුනිල් දිසානායක සමඟ කුමාර් ද සිල්වා නිවේදනයෙන් එකතු වෙනවා. අනුර බණ්ඩාර රාජගුරු එදින වැඩසටහනේ පිටපත රචනා කළේ.
එසේම අද අප අතර නැති සිනමාවේ දැවැන්ත නළු පෞරුෂයන් 4ක් ගැන විශේෂයෙන් සකස් කළ කෙටි චිත්‍රපට 4ක් එළිදැක්වීමත් එදින සිදු කෙරෙනවා. ඒ සියල්ල ඇතුළත ප්‍රේක්ෂකයාට වෙනස්, රසාස්වාදයක් විඳ ගැනීමටත් අවස්ථාව ලැබෙතැයි මම විශ්වාස කරනවා. එපමණක් නෙවෙයි, මා රංගනයෙන් දායක වූ චිත්‍රපට සියය ඉක්මවූ නාමාවලිය ඇසුරින් පද රචනා කෙරුණු ගීයක් අපේ ප්‍රවීණ, සම්මානනීය ගායිකාවන් 10 දෙනකු එක්ව ගායනා කරනවා. ප්‍රවීණ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනී පීරිස් එහි සම්බන්ධීකරණ කටයුතු කරනවා. නරි බෑනා වේදිකා නාට්‍යයේ කොටස් රඟදැක්වීම ඇතුළු රංගන, ප්‍රාසාංගික අංගවලින් ද හැඩ වෙන මෙදින ප්‍රවේශ පත්‍ර, ආරාධනා පත්‍ර සමඟ මගේ ආදරණීය ප්රේක්ෂකයන්ටත් ඉඩක් වෙන් කර දීමට අවස්ථාව ලැබීම ගැන මං හුඟක් සතුටු වෙනවා.
අපි දැන් වෙනතකට හැරෙමු. කොහොමද ඔබ කලාවේ යෙදෙන්නට කාලය කළමනාකරණය කර ගත්තේ?
ඇත්තෙන්ම ඒකට නිසි සැලැස්මක් ඕනෑ කරනවා. කිසිම දෙයක් එහෙම නැතුව සාර්ථක කරගන්න බැහැනේ. එහෙම වුණාම අපට පෞද්ගලික ජීවිතයත් එක්ක කලා දිවිය පටලවා නොගෙන අරන් යන්න පුළුවන්.
සම්මානයක් ලැබීම ගැන තියෙන්නේ කොහොම තක්සේරුවක් ද?
මටත් විවිධ සම්මාන හිමි වුණා. ඒ ගැන සතුටක් තියෙන්නේ. අනෙක සම්මානයක් ලැබීමත් එක්ක විශේෂත්වයක් දැනෙනවානේ. හැබැයි, ජනතා සම්මානය කියන දේ මට හැමදාම ලැබුණා. ඒක හරිම ප්‍රබලයි.
ඔබට විදෙස් රටවලට ගොස් නිර්මාණ කිරීමේ අවස්ථාවත් ලැබුණා. එය කොහොම අත්දැකීමක් ද?
ඒක වෙනස් අත්දැකීමක්. එතැනදී මෙරටින් පිටරටට ගියත්, තවමත් මේ රටට, කලාවට ආදරය කරන ප්‍රේක්ෂක, රසික පර්ෂදවලින් ලැබුණු සහාය හා උනන්දු කරවීම ඉතා අගය කළ යුතුයි. අනෙක ඒ ඒ කලා කෘතියකින් ඉල්ලා සිටින වටපිටාවට ප්‍රේක්ෂකයා සමීප කරවීමට නිර්මාණකරුවන් උත්සාහ දරනවානේ. එතැනදීයි විදෙස් රටක, වෙනස් පරිසරයකදී නිර්මාණයක් කිරීම වඩාත් උචිතයි කියලා අධ්යක්ෂවරුන් කල්පනා කරන්නේ.
ඔබගේ ගායන හැකියාව රසිකයා එතරම් දැක නැහැ නේද?
අපේ රටේ ප්‍රවීණ, සම්මානනීය ගායක ගායිකාවන් ඉන්නවානේ. එදත් එහෙමමයි. ඒ දක්ෂතා ඇති අයයි ගායනය කරන්න ඕනෑ. ඉතින් මට ගායන හැකියාවක් ඔප්නංවා ගන්න එතරම් එහෙම අවශ්‍යතාවක් වුණෙත් නැහැ.
තව පරපුරක් ඔබ පසුපසින් එනවා. ඒ අයට උපදෙසක් දුන්නොත්?
රංගනය අසීරු දෙයක්. හැබැයි, ක්රමානුකූල හැදෑරීමකින් යුතුව අත්දැකීම් ලබමින් නිහතමානීව පය තබා යා යුතු ගමනක් ඒක. එවිට ඉදිරි ගමනක් යෑම ඉතා පහසුයි. නව පරපුරේ හුඟක් දක්ෂයන් ඉන්නවා. ඒ අයට නව තාක්ෂණයත් එක්ක බොහෝ පහසුකම් සමඟ තව තවත් හොඳ නිර්මාණ කිරීමට හැකියාව තියෙනවා.