මායාදුන්නේ රජුගේ අභාවය 1581 දී සිදුවිය. මේ කාලය වන විට සීතාවක රාජධානිය සහ පහතරට ප්‍රදේශ කිහිපයක් හැරුණු කල අන් සියල්ල පාලනය කරන ලද්දේ පෘතුගීසීන් විසිනි. මායාදුන්නේ රජුගේ අභාවයෙන් පසු පුත් ටිකිරි බණ්ඩාර කුමරු සීතාවක කිරුළ හිමි කර ගනිමින් පෘතුගීසීන්ට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබුණි. පෘතුගීසීන්ගේ අරමුණ වූයේ කන්ද උඩරට යටත් කර ගනිමින් සිංහලයම අතට ගැනීමය.
කොළඹ කොටුවේ පෘතුගීසි කපිතාන් ෆ්රැන්සිස්කෝ ද සිල්වාගේ සැලසුමප්රකාරව මහනුවර බලා පෘතුගීසි සේනාව යමින් සිටියෝය. සැලසුම වූයේ මහනුවරට ඇතුළුවී දෝන කතිරිනා කුමරිය බලයේ පිහිටුවීමයි. ඇඳුම් කඩේට ගිය කල්හි අප පළමු කොට දකින්නේ ජැන්ඩියට හැඳ පැලඳ සිටින ‘ඩමිය’.ය. ඒවා නෝනාවරු, මහත්වරු සේ සිටියේ වුවද, කිසිදු පණක් නැත්තේය. මේ ආකාරයේ ‘ඩමි’ පාලකයන් පත් කර ගැනීම ආක්‍රමණයකදී පහසු උපායකි. රජා තම අණසකට යටත් කරගත් විට, හෙතෙම පාලන බලයේ උරුමක්කාරයා බැවින් නෛතික අවුලක් නැත්තේය. මේ නිසා වැසියන්ගේ විරෝධතා අවම කර ගනිමින් ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑම පහසුය. දොන් ජුවන් ධර්මපාල කුමරු සිය ආධිපත්‍යයට ගත් පසු පෘතුගීසීහු මේ උපාය දියත් කළහ. බුවනෙකබාහු රජතුමා වෙත කැලණිමුල්ලේ සීත මාලිහා පරිශ්‍රයේදී වෙඩි තබා මරා දමා, ධර්මපාල කුමරු රජකමට පත් කර ගැනීම පළමුවෙන් සිදු කළේය. පසුව ධර්මපාල රජ තෙමේ හිඟන්නෙක් සේ කොළඹ කොටුවේ පැත්තක දමා පෘතුගීසින් විසින් කෝට්ටේ රාජ්‍යය පාලනය කරගෙන යන ලදි. මේ ආකාරයේ උපායක් කන්ද උඩරටට ද ගෙන පළමුව සටනින් සිංහල රාජ්‍යය අත්පත් කර ගැනීම සඳහා ආණ්ඩුකාර පේරෝ ලෝපේස් ද සූසා විසිදාහක බළගණයක් සමඟ 1594 ජූලි 5 වැනිදා මහනුවර ආක්‍රමණය කළහ.
දුවන්නට පාර මදි වෙන්නට උඩරට උදාර සිංහලයෝ ප්‍රබල පෘතුගීසි හමුදාවට සැලකූහ. දන්තුරේ සටන නම්වූ ඒ විජයග්‍රහණය වනාහි ලෝක ඉතිහාසයේ ලිය වී ඇත්තෙකි. දිගින් දිගටම ලෝක බෝලයේ හතර අතේ කරක් ගසමින් රටවල් අල්ලා ගත් පෘතුගීසීන් අන් ජාතීන් වැනසුවා මිස, පරාජයට පත් වූයේ නැත. ඒ අඛණ්ඩ ජයග්‍රහණ රැල්ල පළමු වරට පරාජයට පත් වන්නේ දන්තුරේ රණබිමේදීය. සිංහලයෝ එදා පෘතුගීසීන් පරාජය කිරීම අද සිදුවූවා නම් මාසයක් පමණ තිස්සේ ලොව වටා පුවත්හි කියැවෙන්නේ එයය. කොනප්පු බණ්ඩාර නම් වූ උත්තුංග රණකාමියාගේ නායකත්වයෙන් එදා සිංහලයෝ දන්තුරේ සටන ජය ගත්තේ නැතිනම් මුළු රටම පෘතුගීසීන් අත්පත් කර ගන්නවා ඇත්තේය. ඒ මහා ජයග්‍රහණයේ 430 වැනි සංවත්සරය අදය. මේ තීරුව අද දිනයේ වැඩි බර තබමින් එම ජයග්‍රහණය සටහන් කරන ලද්දේ අද බංකොලොත්භාවයෙන් හිස ඔසවන ජාතියක්, එදා ලෝකයේ ප්‍රබල හමුදාවන් පරාජය කළ ආකාරය සිහිපත් කිරීම සඳහාය.
රටක් වෙනුවෙන් කැපකිරීම වනාහි යුද වැදීම පමණක් නොවේ. ඒ සඳහා අත්‍යවශ්‍ය වනුයේ ජාතිය හමුවේ ඇති අභියෝගය තේරුම් ගැනීමය. මේරු සහ පරවියෝ අතර වෙනසක් ඇත්තේය. දෙවර්ගයම පියාඹන්නේ වුවද වැදගැම්මකට නැති මේරු සඳහා මහා බලයක් ඇතැයි සිතාගෙන උන්ට තැනක් ලබාදීමට ගියහොත් අපට සිද්ධ වන්නේ ද ‘එළිය වටා කරකැවෙන මෙරුන්’ ලත් අත්දැකීම ලබාගන්නටය. යන්තම් රටේ තත්ත්වය සුබවාදී වෙනසක් කරා ඇදී යමින් ඇත්තේය. එය වැස්ස පහත් වෙනවා සේ ඉබේ ලැබෙන යමක් නොවේ. කැපවීමක සහ කල්පනාවක ප්රතිඵලයකි. ඒ සඳහා කරතබා බර අදින ලද නායකයෙක් සහ පිරිසක් ඇත්තේය. මැයි නව වැනිදා මේ රටේ ඉතිහාසයේ කළු දිනයක් විය. ඊට පෙර සිටම ගෙවල් ගිනි තබා පහර දුන් පිරිස්, මෙදා හෙල්මට් හිසලා ගෙන ප්රචණ්ඩත්වය මුදා හළහ. අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රීවරයා මහමඟ ඝාතනය කළේය. ආර්ථික සහ දේශපාලනික අනාථභාවයේ තිබූ රටක් එක රැයට වෙනස් කළ නොහැකිය. පළමුව ප්රචණ්ඩත්වය අනික් පැත්තට හරවා දැමිය යුතුය. වසර දෙකකට පෙර මේ කාලයේ පාර්ලිමේන්තුව අල්ලා ගැනීම සඳහා පිරිස් කැඳවමින්, සජීව විකාශයන් ෆේස්බුක් එකේ පවත්වමින් සිටින ලද්දේ හිංචි පිංචි ගැටව් නොව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. මන්තරයක් මෙන් ප්රජාතන්ත්රවාදය මතුරන මේ පිරිසගේ ඇත්ත ආශාව ඇත්තේ ප්රචණ්ඩත්වය මුදා හැර රට අත්පත් කර ගැනීමට හෙයින්, හතර අතේ ලේ හළා වැඩේ පටන් ගැනීමට පිරිස සූදානම් විය. ඒ ගමන නතර නොවූයේ නම් මේ රටේ මහජන නියෝජිතයෝ බොහෝ දෙනෙක්ගේ සොහොන් කොත් දැන් වසර දෙකකට වඩා පැරණි වී ඇත්තේය.
එහෙව් භීෂණයකින් දේශය මුදා ගැනීම ද දන්තුරේ සටන සේම වැදගත් භාවිතාවකි. අපි ජාතියක් ලෙස අප්‍රමාණ ලේ ගංගා ගලා ගිය ආකාරය දැක ඇත්තෙමු. සිවිල් යුද්ධයකින් වසර තිහක් පීඩා වින්දෙමු. එහෙව් ජාතිය සඳහා මෙවන් බාල්දියක් පෙරළීම දේශපාලන උප්පරවැට්ටියක ප්රතිඵලයකි. එතැනදී වැළලී යනු ඇත්තේ ජීවිත පමණක් නොවේ. මීට වසර දෙකකට පෙර අද වැනි දිනයක් සිහිපත් කර ගතහොත් එතැනින් වැළලී යනු ඇත්තේ ‘ප්රජාතන්ත්රවාදය’ බව පසක් වන්නේය. ඡන්දය සඳහා ඇති වලංගුභාවය ඉවත් කළ කල්හි මර්දනය පෙරට එන්නේය. බලහත්කාර ප්‍රයත්නයකින් පාලනය වන රටක් සහ ජනතාව වීමේ සියලු සම්භාවිතා ඒ වන විට ඇතිව තිබුණේය. පාලනය ගිලිහුණු රටක් සඳහා පැමිණි නව නායකත්වය ඒ සියල්ල සඳහා තිත තබා, ප්රජාතන්ත්රවාදය මුලට ගත්තේය. බංකොලොත්භාවයෙන් මිදී දැන් සැනසුම් සුසුමක් හෙළමින් අප සිටින්නේය.
එදා දන්තුරේ සටන සේම, ෆුල් ෆේස් හෙල්මට් දමාගෙන ඇවිදින් වසර දෙකකට පෙර වපුල භීෂණය සඳහා ද අපි උත්තර බැන්දෙමු. වසර දෙකකට පෙර ජූලි මාසයේ මේ කාලය යළි සිහියට නඟා ගනිමින්, භීෂණයෙන් රට බේරා ගත් ආකාරය සිහිකැඳවා ගන්නා ලෙස මේ තීරුව ජනයාගෙන් ඉල්ලා සිටින්නේය.