Home » දෙවන සැකකරුගේ ප්‍රකාශ මන්ත්‍රී හිරුණිකා ප්‍රතික්ෂේප කරලා
ටිරාන් අලස් හඬපට නඩුව:

දෙවන සැකකරුගේ ප්‍රකාශ මන්ත්‍රී හිරුණිකා ප්‍රතික්ෂේප කරලා

by mahesh
July 4, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සමඟ බෙලිඅත්තේ මිනීමැරුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කරමින් යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ හඬපටයක් ප්‍රචාරය කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති දෙවන සැකකාර ශාන් ගනේගොඩ නොහොත් ගනේගොඩ විතානගේ චාමර තරිදු මධුශංක සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් රුපියල් හාරලක්ෂ අසූඑක්දහස් පන්සියයක මුදල සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ 03 නියෝග කළේය.

එම මුදල් සම්බන්ධයෙන් හිමිකම් කියන්නේද යන්න මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් විමසා සිටි අතර එම මුදල්වලට දෙවන සැකකරු අයිතිවාසිකම් කියන බව දන්වා සිටියේය.

එහිදී සැකකරුට එම මුදල් ලබා දුන්නේ සමාජ ජාලවලට ප්‍රචාර කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බවට ඔහුගේ ප්‍රකාශ කළත් අනාවරණය කළ බවත් ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් අධිකරණයට කී පොලිසිය එම අවස්ථාවේ ඇය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ බවත් කියා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා එම මුදල් ලැබුණු ආකාරය දෙවන සැකකරුගෙන් විමසා සිටි අවස්ථාවේ තමන් බණ්ඩාරවෙල වගා කරන බවත් එම මුදල් පියා ලබාදුන් බවත් කියා සිටියේය.

සැකකරුට අධිකරණ ගණනාවකින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. සොරකම් කිරීම් නඩු 30කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. වෙනත් නඩුවකට රිමාන්ඩ් භාරයේ සිටිනවා.

සැකකරු ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කර තිබෙනවා. ඔහුගේ පියාගේ ප්‍රකාශවලට අනුව වසර හතරක් නි‍ෙවසට ගොස් නැහැ. උප්පැන්න සහතිකයේ එක් පැත්තක් පමණයි පියා ලබා දුන්නේ. එම පිටපතට හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා සඳහා යොමුකර තිබෙනවා. පරිගණක දත්ත මකාදාලා. සැකකරු විවිධ ප්‍රදේශවලට ගොස් නිවෙස්වලට ඇතුළු වී පෙත්තක් බීමට දී මත් කර සොරකම් කරන බවට වාර්තා වී තිබෙනවා යැයි පොලිසිය දන්වා සිටියේය.

සිය යූටියුබ් නාළිකාවේ ටික් ටොක් ඔස්සේ මහජන ආරක්ෂක ඇමැතිවරයා සමඟ කළ සාකච්ඡාව උඩුගත කරමින් රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය අස්ථාවර කිරීමට කටයුතු කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කර ඇත.

සැකකාර පුද්ගලයා මේ දුරකතන සංවාදය පටිගත කළ එකක් බව දැන දැනම වෛරී චේතනාවෙන් යූටියුබ් නාළිකාව හරහා උඩුගත කර තිබෙනවා. 2023 ජනවාරි මස ලබා ගත් සිම්පතක් හරහා මෙම දුරකතන සංවාදය පටිගත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා. බෙලිඅත්තේ මිනීමරුවන් අල්ලන බැහැ. පෙර සූදානමකින් සිදු කළ බවට තහවුරු වී තිබෙනවා. මේ නිසා සමාජයේ රජය සහ පොලිසිය ගැන විශාල වෛර සිතුවිල්ලක් කැලඹීමක් ඇති වී තිබෙනවා. කැරැල්ලක් ඇති කරන අදහසින් ඔහු මේ දේ සිදු කර තිබෙනවා යැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අරගල ක්‍රියාකාරී ප්‍රියත් නිකේෂල ඇප මත මුදා හැර ඇති අතර නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාම අධිකරණයේ පෙනී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT