Wednesday, April 23, 2025
Home » එල්පීඑල් වේගවත්ම ශතකය කුසල්ගෙන්

එල්පීඑල් වේගවත්ම ශතකය කුසල්ගෙන්

ජැෆ්නා පිලෙන් සුපිරි හඹායෑමක්

by mahesh
July 4, 2024 1:03 am 0 comment

ලංකා ප්‍රිමියර් ලීග් තරග බිමේ වේගවත්ම ශතකය රැස් කරමින් කුසල් ජනිත් පෙරේරා දියත් කළ විශිෂ්ට ඉනිම යට කළ ජැෆ්නා කිංග්ස් පිතිකරුවෝ සුපිරි හඹා යෑමකින් දඹුල්ල කිංග්ස් පිල කඩුලු 4කින් පරාජය කිරීමට සමත් වූහ.

එල්පීඑල් තරගාවලියේ සිව්වැනි තරගය ලෙස ඊයේ (03) පස්වරුවේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 191ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ජැෆ්නා පිල අවසන් පන්දුවෙන් ජය තහවුරු කර ගත්තේ කඩුලු 6ක් දැවී තිබියදීය.

පිළිතුරු ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 36ක් තුළ දවා ගැනීමට දඹුලු පන්දු යවන්නන් සමත් වුවද සිව්වැනි කඩුල්ලට අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක්වූ නායක චරිත් අසලංක පන්දු 66කින් ලකුණු 134ක සබඳතාවක් ගොඩනඟමින් ඉලක්කය පහසු කළේය. පන්දු 36කදී හතරේ සහ හයේ පහර 4 බැගින් එල්ල කළ අසලංක දැවීයෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර, ඉන් ලකුණු 7කට පසු අවිශ්කගේ ඉනිම නිමා වූයේ ලකුණු 80කටය. පන්දු 21කින් ලකුණු 50 වාර්තා කළ ඔහු දැවීයන විට හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟ පන්දු 34කට මුහුණ දී තිබිණි. අවිශ්ක තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.

ජැෆ්නා ඉනිමේ අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා එක් ලකුණක් අවශ්‍යව තිබූ අතර, ෆේබියන් ඇලන් එල්ල කළ හයේ පහරින් ජය තහවුරු විය. පන්දු යැවීමේදී මුස්ටෆිසූර් රෙහ්මාන් සහ නුවන් තුෂාර කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමු පන්දුවට පහරදුන් දඹුලු ඉනිමට වේගවත් ආරම්භයක් දුන් කුසල් ජනිත් පෙරේරා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 102කි. මෙවර තරගාවලියේ පළමු ශතකය සහ එල්පීඑල් ඉතිහාසයේ 5 වැනි ශතකය වූ මෙය වාර්තා පොත අලුත් කළේ එල්පීඑල් පිටියේ වේගවත්ම ශතකය ලෙසිනි. පන්දු 52කින් වාර්තා වූ එම ශතකය (102) හතරේ පහර 10කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය.

මින් පෙර පසුගිය වසරේ කලම්බු ස්ට්‍රයිකර්ස් පිල වෙනුවෙන් බාබර් අසාම් පන්දු 59කින් වේගවත්ම ශතකය රැස් කර තිබිණි. ලකුණු 9ක් ලබාසිටි ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසු කුසල්ට එක් වූ නුවනිඳු ප්‍රනාන්දු දෙවැනි කඩුල්ල ලකුණු 108ක් එක් කළේ පන්දු 64කිනි. පන්දු 35කින් ලකුණු 40ක් රැස් කළ නුවනිඳු දැවී යෑමෙන් එම සබඳතාව නිමාවූ අතර, අනතුරුව මාක් චැප්මන් කුසල් සමඟින් එක්ව ලකුණු 65ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 38කිනි. චැප්මන් පන්දු 23කින් ලකුණු 33ක් රැස් කළේය. බිඳ වැටුණු දඹුලු කඩුලු 2කම ධනංජය ද සිල්වාගේ පන්දු ඉදිරියේ සටහන් විය.

එල්පීඑල් තරගාවලියට විවේක දිනයක් වන අද (04) සියලු කණ්ඩායම් දඹුල්ලේ අදියර සඳහා පිටත්ව යෑමට නියමිතය.

දඹුල්ල සික්සර්ස් – 191/2 (ඕවර 20) කුසල් ජනිත් පෙරේරා නොදැවී 102, නුවනිඳු ප්‍රනාන්දු 40, මාර්ක් චැප්මන් නොදැවී 33 (ධනංජය ද සිල්වා 25/2)

ජැෆ්නා කිංග්ස් – 197/6 (ඕවර 20) අවිශ්ක ප්‍රනාන්දු 80, චරිත් අසලංක 50, පැතුම් නිශ්ශංක 27 (මුස්ටෆිසූර් රහ්මාන් 30/2, නුවන් තුෂාර 34/2)


ගාල්ලට දෙවැනි දිනුම

එල්පීඑල් තරගාවලියේ පිට පිට දෙවැනි දිනුම අත්කර ගැනීමට ගෝල් ක්‍රීඩකයෝ ඊයේ (3) රාත්‍රියේ සමත් වූයේ කලම්බු පිලට එරෙහිව ලකුණු 7කිනි.

තරගාවලියේ 5 වැනි තරගය ලෙස පල්ලෙකැලේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගෝල් පිල ලකුණු 179ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගිය කලම්බු කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 172ක් පමණි.

අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ලකුණු 45ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එල්ල කළ ඔහු ඉනිමේ ඉහළම සබඳතාව ගොඩනැඟූවේ චාමික කරුණාරත්න (12) සමඟින් ලකුණු 47කිනි. චාමික දුවද්දි දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. ගෝල් පන්දු යවන්නන් හමුවේ කලම්බු පිලේ මුල් පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීම අසීරු වූ අතර, රහ්මනුල්ලාහ් ගුර්බාස් (29) සහ ග්ලේන් පිලිප්ස් (26) පමණක් ලකුණු 20 සීමාව පසු කළහ.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ, සහන් ආරච්චිගේ සහ ඉසුරු උදාන කඩුලු 2 බැගින් දවා ගත්හ.

නායක නිරෝෂන් දික්වැල්ල ගෝල් ඉනිමට වේගවත් ආරම්භයක් දුන්නේ පන්දු 18කින් ලකුණු 50ක් රැස් කරමිනි. හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් එල්ල කළ ඔහු ඇලෙක්ස් හේල්ස් (14) සමඟ පළමු කඩුල්ලට පන්දු 32කින් ලකුණු 71ක් එක් කළ ද මැදපෙළ කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ වැටීමෙන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අවස්ථාව අහිමි විය. කෙසේ වෙතත් යළිත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ඉසුරු උදාන සහ සහන් ආරච්චිගේ ලකුණු 79ක් එක් කරමින් ඉනිම ශක්තිමත් කළහ. සහන් ලකුණු 35ක් රැස් කළ අතර, ඉසුරු පන්දු 34කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 52ක් රැස් කළේය. පන්දු යැවීමේදී ශදාබ් ඛාන් කඩුලු 4ක් සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්හ.

ගෝල් මාර්වල්ස් – 179 (ඕවර 20) ඉසුරු උදාන 52, නිරෝෂන් දික්වැල්ල 50, සහන් ආරච්චිගේ 35 (ශදාබ් ඛාන් 21/4, බිනුර ප්‍රනාන්දු 22/3)

කලම්බු ස්ට්‍රයිකර්ස් – 172/9 (ඕවර 20) දුනිත් වෙල්ලාලගේ 45, රහ්මනුල්ලාහ් ගුර්බාස් 29, ග්ලේන් පිලිප්ස් 26 (මහීෂ් තීක්ෂණ 20/2, සහන් ආරච්චිගේ 21/2, ඉසුරු උදාන 34/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT