මේ වන විට රටින් පලා ගොස් විදේශයක සැඟව සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන රත්ගම විදුරගේ වත්කම් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
විදුරට අයත් කෝටි ප්‍රකෝටි ගණනක දේපොළ දකුණේ ඇති බවත් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ගාල්ලේ බවත් බුද්ධි අංශ මඟින් අනාවරණය කරගෙන තිබේ. එම දේපොළ වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් මිල දී ගෙන පවත්වාගෙන යන බවත් ඒ අතර ව්‍යාපාර මෙන්ම සුවිසල් ගොඩනැඟිලි මෙන්ම හෝටල් ද ඇති බව බුද්ධි අංශ බලධාරීන්ට පෙන්වා දී ඇත.
මෙම දේපොළ මෙන්ම රත්ගම විදුරගේ මුදල් පරිපාලකයකු ලෙස හඳුනාගත් සැකකරුවකු ද මාතර විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. රත්ගම විදුරගේ බිරියගේ සහෝදරයා බව කියන දුලාජ් නමැති එම පුද්ගලයාව දින 07ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වා ඇත. ප්‍රශ්න කිරීම් හමුවේ වැදගත් යැයි කිසිවක් හෙළි කර ගැනීමට එම පොලිස් කණ්ඩායමට හැකියාවක් නොවූ බැවින් ඔහුව පසුගිය 01 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ බව දකුණේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එහිදී රක්ෂිත බන්ධනාගාරගත කළ එම සැකකරු මේ වන විටත් බන්ධනාගාරගතව සිටින බව ද එම නිලධාරියා පැවසීය.
එම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පෙරේදා (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.