Home » දෙමටගොඩ චමින්දගේ බිරිය අත්අඩංගුවට ගන්න නියෝග
භාරත ලක්ෂ්මන් ඝාතනයට මරණ දඬුවම නියම වූ

දෙමටගොඩ චමින්දගේ බිරිය අත්අඩංගුවට ගන්න නියෝග

by mahesh
July 4, 2024 1:00 am 0 comment

නිමන්ති රණසිංහ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නමැත්තාගේ බිරිය ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන පාලකවරයාට ඊයේ (03) නියෝග කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් කෝටි 50කට අධික දේපළක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් මෙම සැකකාරිය අවශ්‍යව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකිරීමේදී සැකකාරිය විදේශයකට පලාගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ ය.

සැකකාරියගේ නමට වී 8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක්, බී.එම්.ඩබ්ලිව්. කාර් රථයක් සහ මීගමුව ප්‍රදේශයේ රුපියල් කෝටි තිස්පහකට අධික වටිනාකමින් යුත් හෝටලයක් ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එසේම, මෙම සැකකාරිය රන් උකස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ තිහක රන් භාණ්ඩ උකස් කර ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මෙම දේපළ විකිණීම අන්සතු කිරීම හෝ පැවරීම වළක්වමින් කොළඹ මහාධිකරණය මඟින් අත්හිටුවීමේ නියෝගයක් ලබාගත් බවද අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය මෙරටට පැමිණීමේදී අත්අඩංගුවටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ලබාදෙන ලෙසට ආගමන විගමන පාලකවරයා වෙත නියෝග නිකුත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT