Home » පාසල් අධ්‍යාපනයට බාධා කළොත් වැඩ වරදී

පාසල් අධ්‍යාපනයට බාධා කළොත් වැඩ වරදී

by mahesh
July 4, 2024 1:02 am 0 comment

ජන­පති ඇතුළු නිල­ධා­රීන් පිරිස

සෘජුව‍ හෝ වක්‍රව පාසල් අධ්‍යාපනය බිඳ වට්ටන්න කිසිවකුට ඉඩ දෙන්නේ නෑ
– අරලියගහ මන්දිරයේදී ගුරුවරුන් 2159කට නව පත්වීම් දීමේ උත්සවයේදී ජනපති කියයි

* ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි
* උසස්වීම් සහ ගුරුමාරුවලදී කාටවත් අසාධාරණයක් නොවෙන්න වග බලා ගන්නවා
* ඉදිරියේදී ගුරු මාරු සහ උසස්වීම් මාර්ගගත ක්‍රමයට

ජනපතිවරයා එසේ පැවසුවේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය සහ උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා අරලියගහ මන්දිරයේ ඊයේ (03) පැවති උත්සවයට එක්වෙමිනි.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111 ශ්‍රේණියේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු 60ක් සඳහා පත්වීම් දුන් අතර උපාධි හා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2,159කට ගුරු පත්වීම් ලබාදීම ද සිදු කෙරිණි. මෙරට ජාතික පාසල්වල පවතින උසස් පෙළ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා, ගණිත, තාක්ෂණවේදය, විදේශ භාෂා විෂයයන්වල සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ විෂයයන්වල ගුරු පුරප්පාඩු සඳහා සහ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු සඳහා මේ ගුරුවරුන් යොමු කිරීම සිදු කරයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ අනුමැතිය ලත් 60ක් සඳහා පත්වීම් ප්‍රදානය කිරීම, උපාධිධාරීන් 1706ක් සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 453ක් සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානය කිරීමට ද එක්විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේද පැවසීය.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ සියලුදෙනා අවධානයෙන් කටයුතු කළ යුතුයි. අධ්‍යාපනයේ සිදු කරන කඩාකප්පල් ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ද මම ඉල්ලීමක් කරනවා. ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේදී මාර්ගගත ක්‍රමය (online) හරහා සිදු කිරීම පිළිබඳ අධ්‍යාපන ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළා. උසස්වීම්වලට හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවකුට අසාධාරණයක් වීමට ඉඩ නොතැබිය යුතුයි. අද පරිපාලන සේවයට සහ ගුරු සේවයට ඇතුළත් වන සියලුදෙනාට මම සුබ පතනවා. ඔබ භාර ගන්නේ ඉතා වැදගත් වගකීමක්. පසුගිය වසර දෙකේ රට බංකොලොත්වූ අවස්ථාවේ සහ එම බංකොලොත්භාවයෙන් මිදීමට අප පියවර ගත් අවස්ථාවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන ඉහළ දැමුවා. පුරප්පාඩු සඳහා පමණක් නොව අතිරික්ත ගුරුවරු බඳවා ගැනීමට කටයුතු කළා. අසීරු කාලයේ වුවද එවන් පියවර ගනු ලැබුවේ රටේ අනාගතය දෙස අවධානය යොමු කරමින් බව කිවයුතුයි. අපේ අනාගතය වන්නේ දරු පරපුරයි. අනාගත පරපුරට නව දැනුම දෙමින් වෙනස් වන ලෝකයේ නවීන තාක්ෂණය පිළිබඳ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීමට රජය කටයුතු කරන්නේ ඒ නිසයි. එය අප සියලුදෙනාගේ වගකීමක් වෙනවා.

පාසලේ පන්ති කාමරයේ සිසුන් 40ක් -50ක් පමණ සිටිය හැකියි. නමුත් ගුරුවරයා සහ හමුදා නිලධාරියා අතර වෙනසක් තිබෙනවා. හමුදා නිලධාරීන් යටතේ සිටින්නේ පුහුණුව ලැබූ වැඩිහිටි අය. නමුත් ඔබ යටතේ සිටින්නේ පුහුණුව ලබාදිය යුතු වසර 18 නොඉක්මවූ පිරිසක්. මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. අපි රටේ අධ්‍යාපනය රැක ගන්නේ නැත්නම්, අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කරනවා නම් අපේ අනාගත පරපුර අපට අහිමි වෙනවා. රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එහිදී ඉදිරි වසර 20 – 25 තුළදී ඩොලර් බිලියන 85ක් වූ අපේ දළ දේශීය නිෂ්පාදනය අවම වශයෙන් ඩොලර් බිලියන 350ක් දක්වාවත් ඉහළ නංවා ගැනීමට අප උත්සාහ කළ යුතුයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් එය කළ යුතුයි.

ගුරු සේවය අනෙකුත් සේවාවන්ගෙන් වෙනස් සේවාවක්. එහි ගරුත්වය ආරක්ෂා කළ යුතුයි. අද පාසල්වල විනය ආරක්ෂා කිරීමට සිදු වී තිබෙනවා. පාසල්වල සිදුවන වැඩවර්ජන හොඳ නැහැ. එසේ වර්ජන කිරීමට හේතුවකුත් නැහැ. 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ එකම වැටුප් වැඩිවීම කළා. ඒ කළේ ගුරුවරුන් වෙනුවෙන්. මේ වසරේදී අප රාජ්‍ය සේවයේ සියලුදෙනා වෙනුවෙන් රුපියල් 10,000ක දීමනාවක් ලබා දුන්නා. රටේ ආර්ථික තත්ත්වය සමඟ ඊට වඩා දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉන්පසුව ඇතැම් වෘත්තීය සමිති මෙය සංශෝධනය කර වැඩිපුර දෙන්න කියා ඉල්ලනවා. මම මෙහිදී පුදුම වන්නේ ගුරු සේවයෙන් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම පිළිබඳවයි. අප ඔවුන්ට දෙවරක් වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා. පසුගියදා ගුරුවරුන් වැඩවර්ජනයක් කළා. ඔවුන් පන්ති කාමරවලට ආවේ නැහැ. ඔවුන් වර්ජනය කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට ඇවිත්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු අනෙක් පිරිසත් පැමිණිලා, කෑගහලා, ජනාධිපති කාර්යාලයට එන්න උත්සාහ කළා, බැරියල් සොලවමින්, කඳුළු ගෑස් මැද උද්ඝෝෂණ පවත්වන්නේ ඒ ස්ථානයේදීයි. එය අලුත් සිදුවිමක් නොවෙයි. නමුත් ගුරු වෘත්තියට එය ගැළපෙන්නේ නැහැ. එදා ගුරුවරු වර්ජනය කරන විට පොත්වල අත්සන් කරන්නේ නැතිව දරුවන්ට ඉගැන්නුවා. ඇතැම් රටවල කළුපටියක් පැලඳගෙන ඇවිත් උගන්වනවා. නමුත් පසුගිය වැඩවර්ජනය සම්පූර්ණයෙන්ම වෙනස්.

දමිළ සහ මුස්ලිම් පාසල්වල මේ තත්ත්වය දකින්න ලැබුණේ නැහැ. ඔවුන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියා. ඒ වගේම ජාත්‍යන්තර පාසල්වල සහ පෞද්ගලික පාසල්වල අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන ගියා. නමුත් සිංහල මාධ්‍ය සියලු පාසල්වල අධ්‍යාපනය නතර කළා. සාමාන්‍ය ගම්වල දුප්පත් දරුවන් යන්නේ මේ පාසල්වලට. එයද ගුරු වෘත්තියේ වගකීම කියා මම ප්‍රශ්න කිරීමට කැමතියි. දෙමළ සහ මුස්ලිම් පාසල්වල ගුරුවරු අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියා. නුවරඑළිය වැනි ප්‍රදේශවල සිංහල මාධ්‍ය පාසල් නොපැවැත්වෙන විට දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බැහැ. ඇතැම් පාසල්වල ගුරුවරුන්ට පාසල් එන්න එපා කියා තර්ජනය කර තිබුණා. ජනතාව ආණ්ඩුවට බණිනවා මොකුත් කළේ නැහැ කියලා. ඒ වගේම විපක්ෂයට බණිනවා මොවුන්ට සහයෝගය දෙනවා කියලා. එය හොඳ තත්ත්වයක් නොවෙයි.

ගුරු මාරු ක්‍රමය පරිගණකයෙන් කරන්න පුළුවන් ද කියා මම ඊයේ ඇමැතිතුමා සමඟ සාකච්ඡා කළා. උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලදී කිසිවකුට අසාධාරණයක් වීමට ඉඩ දෙන්න බැහැ. ඒ වගේම මින්පසු මේ පිළිබඳ වඩාත් තදින් ක්‍රියා කිරීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කිරීමට කැමැතියි. ඇතැම් පිරිස් මා සමඟ අමනාප විය හැකියි. නමුත් ඇත්ත තත්ත්වය එයයි. අපි අපේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරදීම වෙනුවෙන් සියලු පියවර ගත යුතුයි. ඒ නිසා දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කර කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. ඒ වගේම මම විපක්ෂයෙනුත් විශේෂ ඉල්ලීමක් කරනවා. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය දෙන්න එපා කියලා. මොකද ජනතාවගේ හඬට ඇහුම්කන්දී, මව්පියන්ගේ හඩට ඇහුම්කන්දී අපට කටයුතු කිරීමට සිදු වෙනවා.

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා-

විද්‍යාව, තාක්ෂණය, විදේශ භාෂා යනාදී ක්ෂේත්‍රවලට අපි ප්‍රමුඛතාවක් දිය යුතුයි. වර්තමානයේ තිබෙන රැකියා ඉදිරියේදී නොපෙනී යනවා. විශ්වවිද්‍යාල පද්ධතිය නිර්මාණය විය යුත්තේ ඉදිරි දශක දෙකකට පමණ ගැළපෙන උපාධි බිහි කිරීමටයි. අපේ වැඩවර්ජන අවසන් කරන තෙක් දරුවන් අද බලා සිටින්නේ නැහැ. දරුවන් තාක්ෂණය සොයාගෙන යනවා. අපට ප්‍රශ්න තිබෙනවා. අයිතිවාසිකම් තිබෙනවා. ඒවා ලබා ගත යුතුයි. නමුත් අපේ සියලු අයිතීන් දිනාගන්න තෙක් දරුවන් බලා සිටින්නේ නැහැ. අභියෝග මැද්දේ තමයි මේ පත්වීම් දෙන්නේ. අලුතින් ප්‍රතිපාදන මේ සඳහා වෙන් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා.

විසි එක්වැනි සියවසේදී ජෛව තාක්ෂණය, නැනෝ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය යනාදී ක්ෂේත්‍ර නැඟී එන ක්ෂේත්‍ර ලෙස හැඳින්විය හැකියි. කෘත්‍රිම බුද්ධියෙන් පරිවර්තනීය වෙනසක් වෙනවා. වෘත්තීය අයිතිවාසිකම් දිනා ගත යුතුයි. නමුත් දරුවන්ගේ අනාගතය උකසට නොතැබිය යුතුයි. කොවිඩ් කාලයේ අහිමිවූ අධ්‍යාපනය වෙනත් රටවල වැඩි කාලයක් වැඩ කර දරුවන්ට ලබාදුන්නා. ඉතියෝපියාව වැනි රටවලත් අහිමි වූ අධ්‍යාපනය ලබා දුන්නා. නමුත් මම අපේ වෘත්තීය සමිතිවලින් ඇහුවේවත් නැහැ පාසල් කාලයෙන් පස්සේ පැයක් එකහමාරක් වැඩ කරන්න කැමතිද කියලා. මොකද මම දන්නවානේ ලැබෙන උත්තරය. එසේ තිබියදී තමයි අද ගුරුවරු වැඩවර්ජන කරන්නේ.

ගුරු පත්වීම් ලබාදීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මේ ගුරු පත්වීම් ලබාදීමේ අභියෝගය අපි භාර ගත්තා. අද 2000කට ආසන්න ප්‍රමාණයකට ජාතික පාසල් සඳහා ගුරු පත්වීම් ලබාදීමට හැකි වී තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් රට මුදාගෙන ආර්ථික ස්ථාවරයක් ඇති කර මෙවැනි පත්වීම් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ අද වන විට සාර්ථක වී තිබෙනවා. රට බංකොලොත් වී තිබූ මොහොතක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙස මුදල් වෙන්කර ඔබට පත්වීම් දීම සිදු කරනවා. නමුත් මේ පත්වීම අරගෙන වෘත්තීය සංගම්වල ක්‍රියාමාර්ගවලට එකතු වී දරුවන්ගේ අනාගතය අඳුරු කරන්න එපා. ඔබ උපාධිධාරියකු ලෙස අධ්‍යාපන ගමනක් ගියේ ඔබට ගුරුවරුන් දුන් අධ්‍යාපනය නිසයි. නමුත් ඔබ දරුවන්ට අධ්‍යාපනය නොදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගියොත් අඳුරු වන්නේ අපේ දරුවන්ගේ අනාගතයයි.

ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ පනතකට එදා සිටි ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග කළේ පොත අත්සන් නොකර දරුවන්ට ඉගැන්වීමෙන්. ඒවා ආදර්ශයට ගනියි කියා මා විශ්වාස කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ජාතික අධ්‍යාපන ආයතනය ඇති කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් සංවිධාන ශක්තියක් ඇති කිරීමට කටයුතු කළා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත ගෙනාවෙත් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතායි. විද්‍යා පීඨ බිහිකළෙත් වත්මන් ජනාධිපතිවරයායි. ඉන් වසරකට 5000ක් පමණ ගුරුවරුන් බිහිවෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු සේවාවක් කර කෙනෙක් අද ජනාධිපතිවරයෙක් වීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වාසනාවක්. විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිධාරියකුට හැකි විය යුතුයි, කිසි කෙනෙකුට අත නොපා රැකියා අවස්ථා ලබා ගැනීමට. ඉදිරියේදී සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් රැකියාවන්ට ගැළපෙන උපාධිධාරීන් බිහිකිරීමට කටයුතු කරනවා.මානව සම්පත නිසියාකාරයෙන් කළමනාකරණය කිරීමෙන් රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කළ හැකියි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය ඇමැතිවරුන් වන විජිත බේරුගොඩ, අරවින්ද කුමාර්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

අධ්‍යා­පන ඇමැති සුසිල් ප්‍රේම්ජ­යන්ත් මහතා අතින් පත්වී­මක් ලබා ගනි­මින්.

අධ්‍යා­පන ඇමැති සුසිල් ප්‍රේම්ජ­යන්ත් මහතා අතින් පත්වී­මක් ලබා ගනි­මින්.

පත්වීම් ලැබූ­ව­න්ගෙන් කොට­සක්

පත්වීම් ලැබූ­ව­න්ගෙන් කොට­සක්

ඡායාරූප – වාසිත පටබැඳිගේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT