Home » පාර්ලිමේන්තුවට ගෙනා සම්පන්දන්ගේ දේහයට මැති ඇමැතිවරු සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ අවසන් ගෞරවය පුද කරති

පාර්ලිමේන්තුවට ගෙනා සම්පන්දන්ගේ දේහයට මැති ඇමැතිවරු සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝ අවසන් ගෞරවය පුද කරති

by mahesh
July 4, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාගේ දේහයට අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරු ඇතුළු පාර්ලි‍මේන්තු මැති ඇමැතිවරු පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (03) අවසන් ගෞරව දැක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටියදි පසුගියදා පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතාගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ අතර එම ස්ථානයේ සිට ඊයේ (03) පස්වරු 2.00ට පමණ ඒ මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගෙන ඒම සිදු විය.

පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආ ආර්. සම්පන්දන් මහතාගේ දේහය පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන් භාර ගත් අතර, ඉන් පසුව දේහය පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා ප්‍රමුඛ වේත්‍රධාරී පිරිස භාර ගත්හ.

සම්පන්දන් මහතාගේ දේහය රැගත් අවමංගල රථ පෙරහර පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැටපෙළ අසලට පැමිණි අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා, පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු පිරිස විසින් දේහය භාරගැනීම සිදුවිය. අනතුරුව දේහය වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකොට ගනිමින් රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි විශේෂ උත්සව ශාලාවෙහි තැන්පත් කිරීම සිදුවිය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රථම‍යෙන් ගෞරවය පුදකළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ගෞරවය පිරිනැමුවේය. ඉන් පසුව අග්‍රාමාත්‍ය දි‍නේෂ් ගුණවර්ධන මහතා සිය ගෞරවය පුද කළ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආර්. සම්බන්දන් මහතා වෙත ගෞරවය පුදකළේ ඉන් පසුවයි. හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා ඉන් පසුව සිය පාර්ලි‍මේන්තු සගයාට ගෞරවය පිරිනැමූ අතර ඉන් පසුව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, ඒ.එම්.එල්.එම්. අතාවුල්ලා, එම්. ඒ. සුමන්තිරන්, රාවුෆ් හකීම්, ජීවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිසක් ගෞරවය පුද කළහ. ඉන් පසුව සභානායක සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග මහතා හා විපක්ෂ නායකවරයා නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගෞරව දැක්වීමට එක්විය.

හිටපු කථානායකවරුන් වෙනුවෙන් කරු ජයසූරිය මහතා ආර් .සම්පන්දන් මහතාගේ දේහයට ගෞරවය පුදකළ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා, කැබිනට් ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රමුඛ මහලේකම් මඬුල්ල, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, විදෙස් තානාපතිවරු, රාජ්‍ය නිලධාරීන්, හිටපු මහලේකම්වරු ඇතුළු හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයන් හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම පවුලේ ඥාතීහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු සම්භාවනීයයන් පිරිස දේහයට අවසන් බුහුමන් දැක්වීමෙන් පසුව ශෝක ප්‍රකාශයන්ද සටහන් කළහ.

ආර්. සම්පන්දන් මහතාගේ දේහය පස්වරු 2.00 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබූ අතර සිය දේශපාලන සගයන්ගේ ගරුබුහුමන් ලැබූ ඒ මහතා පස්වරු 3.30ට පමණ අවසන් වතාවට පාර්ලිමේන්තු සංකීර්ණයෙන් නික්ම ගියේය.

ආර්. සම්පන්දන් මහතාගේ දේහය පාර්ලිමේන්තුවට රැගෙන ඒම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද යොදා තිබූ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයම ශෝකාකූල බවක් දැරීය. සුදු පැහැති ධජ පාර්ලිමේන්තු සංකීර්ණය පුරාවටම ඔසවා තිබිණ.

පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයෝ ආර්. සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියහ.

ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT