ආර්. සම්පන්දන් මහතා යනු ලාංකේය දේශපාලනයේ එක්තරා යුගයක් සේ හැඳින්විය හැකි අයකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතා වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත්කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
එම ශෝක පණිවුඩයේ මෙසේ සඳහන් වෙයි.
ශ්‍රී ලාංකේය දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා යුක්තිසහගත විසඳුම් ලබා දීම උදෙසා සිය ජීවිතය කැප කළ කෘතහස්ත ලංකා පුත්‍ර රාජාවරෝතියම් සම්පන්දන් මහතාගේ අභාවය පිළිබඳව මම බලවත් සේ කනගාටු වෙමි. සම්පන්දන් මහතා යනු ලාංකේය දේශපාලනයේ එක්තරා යුගයක් සේ හැඳින්විය හැකියි.
සම්පන්දන් මහතා වසර 50කට අධික කාලයක් සිය ශ්‍රමය සහ කාලය තම රට වෙනුවෙන් කැප කළා. මුලින්ම නීතිඥයකු ලෙස ද පසුව දේශපාලනඥයකු ලෙස ද ඔහු සේවය කළා. ඉලංගෙයි තමිල් අරසු කච්චි සහ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය දරමින් තම ප්‍රජාව හා ඡන්ද දායකයන් වෙනුවෙනුත්, ලාංකේය සමාජය වෙනුවෙනුත් අඛණ්ඩව සේවය කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද, 2015 සිට 2018 දක්වා විපක්ෂ නායකවරයා ලෙස ද සේවය කරමින්, එක්සත් සහ නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලීමට හඬ නැඟුවේය. ඔහුගේ දැක්ම සහ නායකත්වය දෙමළ ජාතික ව්‍යාපාරයට ප්‍රජාතන්ත්‍රවාදී ශක්තියක් මෙන්ම හැඩයක් ද එක් කළා
යුක්තිය, සාධාරණය, සමානාත්මතාව හා සාමය වෙනුවෙන් හැමවිටම ඔහු පෙනී සිටියා. ලාංකේය ජාතිය තුළ බෙදීම් සමනය කිරීමටත්, විවිධ ජන කොටස් අතර අවබෝධය හා සහෝදරත්වය පෝෂණය කරලීමටත් ඔහු වෙහෙසුණා.
මමත් එතුමාත් මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසියේ 1977 වසරේදීයි. ලංකාවේ ජනවාර්ගික ගැටලුව උදෙසා තිරසර විසඳුමක් ලබා දීමේ කාර්යයට එතුමන් මුළු හදින්ම උරදුන්නා. 77 දී පාර්ලිමේන්තුවට පැමිණි අප දෙදෙනාගේ ධුර කාලය තුළ මේ ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලබා දීම සිදු කළ යුතු බව එතුමා නිතර නිතර මා සමඟ පැවසුවා.
සම්පන්දන් මහතා සිංහල, දෙමළ හා මුස්ලිම් ආදී සියලු ලාංකේය දේශපාලන නායකයන්ට ආදර්ශයක්. එතුමන්ගේ පවුලේ සැමටත්, හිතවතුන්ටත් මගේත්, මහාචාර්ය වික්‍රමසිංහ මහත්මියගේත් ශෝකය මේ සමඟ පිරිනමමි.