යටියන්තොට පනාවත්ත වතුයායේ ඊයේ (03) අලුයම 2.00ට පමණ විදුලි කාන්දුවීමක් හේතුවෙන් සිදුවූ ගිනී ගැනීමකින් එම වතුයායේ ලැයිම් කාමර පහක් ගිනිගෙන ඇති අතර, එම ලැයිම් කාමරයක සිටි අඹුසැම් යුවළක් මරණයට පත්ව ඇති බව යටියන්තොට පොලිසිය පවසයි.
මෙම අනතුර සිදුවන මොහොතේ ලැයිම් කාමරවල පිරිස නින්දේ සිට ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ 60 හැවිරිදි මුක්කන් වීරසිංහම් හා 50 හැවිරිදි මුත්තයියා ශාන්ති දේව් යන අඹුසැමි යුවළ බවයි පොලිසිය පවසන්නේ.
මෙම ගිනි ගැනීමෙන් ලැයිම් කාමර පහෙන් තුනක් මුළුමනින්ම විනාශ වී ඇති අතර ලැයිම් කාමර දෙකක් ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව ජලය ගසා අර්ධ හානි ලෙස බේරාගැනීමට හැකිව ඇති බව පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගිය යුවළට එක් දියණියක් පමණක් සිටින බවත් ඇය විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපන හදාරන බවත් පොලිසිය පවසයි.
සීතාවකපුර පොලිස් අපරාධ ස්ථානීය පරීක්ෂක නිලධාරී අදාළ ස්ථානයට පැමිණ මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කළ බවත් පොලිසිය පවසයි.