නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විකලාංග කායික විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ සහ එම වෛද්‍යවරුන් සේවය කරන වාට්ටුවේ නිල මුද්‍රාව යොදා නුවරඑළිය නගරයේ ඔසුසල්වලින් අධි මාත්‍රා ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් පසුගියදා (1) සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු සහ එම රෝහලේ සුළු සේවකයකු නුවරඑළිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාගනි මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් මේ මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි ඉන්දික ප්‍රදීප් (36), නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචි සමරසිංහ ආරච්චිලාගේ දොන් කවිඳු ප්‍රසාද් (23) සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවකයකු වශයෙන් සේවය කළ කොත්මලේ මාවෙල ප්‍රදේශයේ පදිංචි නිහාල් මැල්සන් දිසානායක (42) යන අයයි. නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, පසුගියදා (1) පස්වරුවේ මොවුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවයි. සිද්ධියට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගේ නිල මුද්‍රාව සහ වාට්ටුවේ නිල මුද්‍රාව නොමැති බවට එම වෛද්‍යවරුන් දෙදෙනා විසින් නුවරඑළිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නුවරඑළිය පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන මහතාගේ උපදෙස් පරිදි විමර්ශනයක් ආරම්භ කර සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය. ඉකුත් මස 19 වැනි දින එම නිල මුද්‍රා අස්ථාන ගත වී ඇති බවට එම වෛද්‍යවරුන් නුවරඑළිය පොලිසියට පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල ඔස්සේ විමර්ශන ආරම්භ කළ නුවරඑළිය පොලිසියේ නිලධාරීන් නුවරඑළිය නගරයේ පිහිටි ඔසුසල්වලින් තොරතුරු විමසීමේදී එම ඔසුසල් හිමියන් පොලිසිය වෙත දැනුම් දී ඇත්තේ දින කිහිපයක සිට එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ නිර්දේශ මත පුද්ගලයන් දෙදෙනකු තම ඔසුසැල්වලින් මත්වෙන අධි මාත්‍රා ඖෂධ මිලදී ගත් බවයි. එම ඖෂධ ලබා ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඔසුසල්වල සවි කර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ විමර්ශන සිදු කිරීමේදී එම අධි මාත්‍රා ඖෂධ මිලදී ගත් පුද්ගලයන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් දෙදෙනකු බවට හඳුනාගැනීමෙන් පසු සැකකරුවන් පසුගියදා (1) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එම නිල මුද්‍රා දෙක එම රෝහලේ සේවය කරන සුළු සේවකයකු විසින් රුපියල් එකළොස් දහසක මුදලකට තමන්ට අලෙවි කළ බවට ප්‍රකාශ කිරීමත් සමඟ එම සුළු සේවකයා ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ.
අත්අඩංගුවට ගත් සුළු සේවකයා සන්තකයේ තිබී බාහිර රෝගීන් පරීක්ෂා කරන පත්‍රිකා 41ක් සහ බෙහෙත් වට්ටෝරු සටහන් කරන පත්‍රිකා 145ක් ද තිබී සොයාගත් බවත්, එම ඖෂධ වට්ටෝරුව ලියා ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වෙත ලබා දී ඇත්තේ සුළු සේවකයා බවට සැක කරන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය. මත්ද්‍රව්‍යන්වලට ඇබ්බැහි වූ සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී මිලදී ගත් අධි මාත්‍රා ඖෂධ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් නුවරඑළිය පොලිසියේ පො.සැ. රසික (75607) විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණ.