Home » ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි හදාගන්න ජපානයට ඉටු කළ හැකි භූමිකාව විශාලයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි හදාගන්න ජපානයට ඉටු කළ හැකි භූමිකාව විශාලයි

විදේශ ඇමැති අලී සබ්රි ජපාන මාධ්‍යයට කියයි

by mahesh
July 4, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රතිසංස්කරණය කිරීමේ දී ජපානයට විශාල භූමිකාවක් ඉටුකළ හැකි බව විදේශ කටයුතු ඇමැති අලී සබ්රි මහතා ජපාන මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

දශක හතක පමණ කාලයක සිට ජපානය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් සහාය දී තිබෙන බව සිහිපත් කරන ඒ මහතා ජපානයේ නිල ආධාර වැඩසටහන් ශ්‍රී ලංකාවේ ජනජීවිත වෙනස් කිරීමට සමත්ව තිබෙන බව ද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝග ජපානය හොඳින් අවබෝධ කරගෙන සිටින බව ද පෙන්වා දෙයි.ජපානයේ නිල සංචාරයක නිරත වූ විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජපාන විදේශ ඇමැතිනී යොකො කමිකාවා මහත්මිය සමඟ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින් බව විදේශ අමාත්‍යාංශය පවසයි. එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගීතාව දශක හතකට එහා දිවයන බවත් ජපානය ශ්‍රී ලංකාවේ විශ්වසනීයම මිතුරකු බවත්ය. දෙරටේ රාජ්‍ය නායකයන්ගේ සංචාර හේතුවෙන් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව පෙන්වා දී තිබෙන ඒ මහතා පසුගිය ආර්ථික අර්බුදය පැවැති අවස්ථාවේ ජපානය විශාල වශයෙන් ශ්‍රී ලංකාවට උපකාර කර තිබෙන බව ද සඳහන් කර ඇත.

පසුගිය ජූනි 26දා ණය ප්‍රතිව්‍යුහගතකරණයට අත්සන් කළ බව පෙන්වා දී තිබෙන අලී සබ්රි මහතා ශ්‍රී ලංකාවේ නිල ණය කමිටුවේ සම සභාපතිවරයා වශයෙන් ජපානය ක්‍රියා කරන බවද පවසා තිබේ. මේ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙස ජපානයට ආරාධනා කර තිබෙන විදේශ ඇමැතිවරයා බලශක්තිය,වරාය,මහාමාර්ග,හරිත සහ ඩිජිටත් ක්ෂේත්‍රවල ආයෝජනය අපේක්ෂා කරන බව ද පවසා තිබේ. ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය ශ්‍රී ලංකාවේ සංවර්ධන සහකරුවෙක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්ෂේත්‍රය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා සහ ජපාන විදේශ ඇමැතිනිය සාකච්ඡා කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩසටහන ජපානයේ ඇගයීමට ද ලක්ව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT