රුපියල් මිලියන 11ක වියදමින් ඉදිකළ ශ්‍රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) මොනරාගල කුඹුක්කන දී විවෘත කෙරිණි. නව වගාවක් ලෙස මොනරාගල දිස්ත්‍රික්කයේ රබර් වගාව මේ වනවිට ඉතාමත් ජනප්‍රිය වී තිබෙන අතර මේ රබර් පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විවෘත කිරීම මඟින් සෑම ගොවියකුටම රුපියල් ලක්ෂයක පමණ අමතර මුදලක් උපයා ගැනීමේ අවස්ථාව ලැබී තිබේ.
මේ වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 16,000ක රබර් වගා කර තිබේ. මේ ප්‍රමාණය හෙක්ටයාර් 50,000 දක්වා ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. දැනට කුඩා පරිමාණ ගොවීන් 1000ක් පමණ මොනරාගල රබර් වගාවේ නිරත වන අතර එම ප්‍රමාණය දෙගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ.
රබර් කිරිවල ප්‍රමිතිය පරීක්ෂා කර බැලීමට මෙතෙක් කලක් මොනරාගල සිට අගලවත්තට රබර් කිරි සාම්පල එවීමට මොනරාගල රබර් ගොවීන්ට සිදු විය.
මේ නිසා රබර්වල ප්‍රමිතිය වෙනස්වීම්වලට භාජනය වීම නිසා උසස් තත්ත්වයේ රබර් කිරි නිෂ්පාදනයට එය බරපතළ ගැටලුවක් විය. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන ප්‍රදේශයේ නව රබර් පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන ලදී. එමෙන්ම නව තාක්ෂණය යොදා ගනිමින් රබර් වේළීමට පරිසර හිතකාමී දුම් කුටියක් ද මේ යටතේ හඳුන්වා දී තිබේ. මේ නව තාක්ෂණය මඟින් කලින් පැවැති රබර් දුම් ගැසීමේ ක්‍රමවේදයට වඩා 16 ගුණයක ප්‍රතිලාභයක් ද මේ කර්මාන්තයට ලැබී ඇත.
මේ රබර් පර්යේෂණ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණය කළේ පහත රට තෙත් කලාපයේ ඉඩම් රබර් වගාව සඳහා යොදා ගැනීමට මින් පසු පියවර නොගන්නා බවයි.
ඒ නිසා රබර් වගාව වියළි කලාපයේ සුදුසු ඉඩම්වල ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ ඇමැතිවරයා පහත රට තෙත් කලාපයේ විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ වෙනත් ආර්ථික වටිනාකමින් ඉහළ භෝග වගාවට සුදුසු ඉඩම් රබර් වගාවට යොදා ගැනීම නිසා එම ඉඩම්වලින් සැලකිය යුතු ආදායමක් රටට නොලැබෙන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් මේ කටයුතු සංවිධාන කර තිබූ අතර එම ආයතනයේ නව සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.