මෙරට ලබා ගෙන ඇති ණය වාරික ගෙවීම 2028 දක්වා කල් දැමීම මඟින් මෙරට ආර්ථිකයට ලැබෙන බලපෑම, ඇතිව තිබූ අර්බුදයට සාපේක්ෂව එදා තිබූ තත්ත්වය, වර්තමානයේ අප ආර්ථික ශක්‍යතාව කෙසේද, ආර්ථික අර්බුදය ජයගත හැකි මඟ කුමක්ද යනාදී කරුණු කාරණා පිළිබඳව ආර්ථික විශ්ලේෂක ශ්‍රී ලංකා කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවේ සාමාජික චිත්‍රාල් ජයවර්ණ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.
– රජය සතු ව්‍යාපාරයන් ප්‍රතිසංස්කරණය කළ යුතුයි
– ණය සහන කාලය තුළ අපේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරගත හැකියි
– ආණ්ඩුවේ ආදායම් එකතු කිරීම දැන් ශක්තිමත් වී තිබෙනවා
අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ තෙවන ණය වාරිකය ලැබීම තුළ මෙරට ආර්ථිකයට ලැබෙන්නේ කුමන ආකාරයේ ශක්තියක්ද?
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු යළි ආර්ථිකය ගොඩගැනීම සඳහා අයි. එම්. එෆ්. ආයතනය මඟින් මූල්‍යමය පහසුකම් ලබා ගැනීමට නිර්දේශ කිරීමෙන් පසුව ඔවුන් ලබා දුන් විවිධ නිර්නායකයන් සමඟ අනුගත වෙමින් දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස අද වන විට අපේ ආර්ථිකය යම්තාක් දුරට ශක්තිමත් වෙමින් පවතින බව පෙනෙනවා. මාස හතළිස් අටක විස්තීර්ණ ණය පහසුකම් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන තුනක මුදලක් අනුමත වී තිබූ අතර එයින් තෙවන වාරිකය විදිහට අමෙරිකානු ඩොලර් මිලියන 336ක් ශ්‍රී ලංකාවට මේ වන විට ලැබී තිබේ.
මෙම ණය වාරිකයන්හි තෙවන වාරිකය ලැබීම කරුණු කිහිපයක් යටතේ වැදගත් වෙනවා. මේ තුළින් IMF ආයතනය නිගමනය කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත නිසි ගමන් මඟට අවතීර්ණ වී ගමන් කරන බව තහවුරු කර තිබෙනවා. ඒ අනුව එම සහතිකය මඟින් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට විදේශ ආයෝජනයන් කෙරෙහි විශ්වාසය ගොඩනැඟීමට ලොකු සාධකයක් බවට පත්වනු ලබනවා. අනෙක් කාරණය වන්නේ මේ වන විටත් සමථයකට පත් නොවී ඇති පැරිස් සමාජයේ රටවල් අතර ණය සම්බන්ධයෙන් වූ එකඟතාවයන් සඳහා ද මෙය බලපානු ලබන බව පැහැදිලියි. ඒ අනුව ඉදිරියේ දී ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමඟ අවසන් එකඟතාවකට යා හැකි වුවහොත් එය තවදුරටත් ආර්ථිකයට යහපත් ලක්ෂණයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඒ අනුව ශ්‍රී ලංකාව ලබා ගත් ණය පියවීම සඳහා සාධාරණ කාලයක් හිමිවනු ලබනවා. එම කාලය තුළදී ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර අමෙරිකානු ඩොලර් බිලියන 25ක අපනයන ආදායමකට යා හැකි වුවහොත් ආර්ථිකය තවදුරටත් යහපත් තත්ත්වයකට පත්කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මෙම කාලපරිච්ඡේදයේදී ගෙවුම් ශේෂයේ හිඟය අවම කර ගැනීමටත් ඩොලරයේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනවා නම්, රාජ්‍ය වියදමට වඩා වැඩි ආදායමක් අත්කර ගැනීමට හැකි වීමත් වැදගත් සාධක විදිහට හඳුන්වා දිය හැකියි.
අපේ රට පසුගිය කාලයේදී සිදු කළ ප්‍රතිසංස්කරණවල තත්ත්වය සහ ඒ සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබුණ සහතිකයේ වැදගත්කම කුමන ආකාරයේ දෙයක්ද?
මෙම තුන්වන ණය වාරිකය ලබා දෙමින් IMF අධ්‍යක්‍ෂ මණ්ඩලය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ණය ලබා දීමේ නිර්දේශයන් අනුව ගමන් කිරීම නිසා ප්‍රතිසංස්කරණයන්වල ප්‍රගතියක් ළඟා කර ගෙන ඇති බවයි. එසේම ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පටන්ගෙන ඇති බවත්, අඩු උද්ධමනයත් ආණ්ඩුවේ ආදායමත් එකතු කිරීම ශක්තිමත් වී තිබෙනවා. විදේශ සංචිතයන්වල අඛණ්ඩ වර්ධනය යහපත් ලක්ෂණයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් වැදගත් දුර්වලතාවයන් හා අවිනිශ්චිතභාවයන් ඒ යටතේ ණය ප්‍රතිව්‍යූහගත ක්‍රියාවලිය නිම නොවීමත්, ඉදිරියේ දී පවතින මැතිවරණයන් නිසා සිදු විය හැකි අවිනිශ්චිතභාවයත් බලපෑමට ලොකු ඉඩක් තිබෙනවා. ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීමත් ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත් කරුණක් විදිහට සඳහන් කළ හැකිය.
මූල්‍ය අරමුදල තවදුරටත් සඳහන් කරන්නේ, මූල්‍යමය ස්ථිරභාවය ශක්තිමත් කිරීම සඳහා අමතර ආදායම් ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙනෙනවා. තවදුරටත් බදු පරිපාලන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම කළ යුතු අතරම, බදු නිදහස් කිරීම් සීමා කිරීම, ඒවා වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමේ අවශ්‍යතාවයන් වැඩි කිරීමෙන් බව පෙන්වා දෙන්න පුළුවන්.
මෙහි දී ඔවුන් ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් විය යුතු බව අවධාරණය කර තිබෙනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් සම්මත වීම ණය කළමනාකරණ රාමුව ශක්තිමක් විය යුතු බව සඳහන් කරනවා. එමෙන්ම රජය සතු ව්‍යාපාරයන් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඉදිරියේ දී බැංකු පනත් සංශෝධනය මෙන්ම වාණිජ හා රාජ්‍ය බැංකුවල ප්‍රාග්ධනීකරණය ශක්තිමත් කිරීම අවධානයට ලක්ව තිබෙනවා. රාජ්‍ය බැංකු අධීක්ෂණය හා පාලනය වැඩි දියුණු කිරීම සඳහා කැපවිය යුතු බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පැහැදිලිව සඳහන් කර තිබෙනවා.
ද්වීපාර්ශ්වීය ණය හිමියන් සමඟ එකතාවකට පැමිණීම පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කරන්න පුළුවන්ද?
පසුගිය දා පැරිස් සමාජයේ දී ද්විපාර්ශ්වීය ණය හිමියන් සමඟ එකඟතාවයන්ට පැමිණීම සිදුවුණා. මේ දේ එක්තරා ආකාරයක ආර්ථිකය තුළ සිදුවූ සන්ධිස්ථානයක් ලෙසද පෙන්වා දෙන්න පුළුවන්. ද්විපාර්ශ්වීය ණය හිමියන් සමඟින් පැමිණ ඇති එකඟතාවයන්ට අනුව වසර 2043 වන තෙක් ලංකා ආණ්ඩුවට ණය ගෙවීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව වසර හතක සහන කාලයක් ලැබෙන අතර ඒ අනුව පොලී ගෙවීම් ද අඩුවනවා. ඇත්තෙන්ම මෙය ආර්ථිකයට විශාල සහනයක්. මේ වන විට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන්ව තිබෙනවා. දෙවනුව ද්විපාර්ශ්වීය ණය හිමියන් සමඟ ඇතිකර ගන්න ලද එකඟතාවයන් අනුව එම කාර්යය ද ඉටුවී තිබෙනවා. දැන් ඉතිරි වී ඇත්තේ පෞද්ගලික ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ එකඟතාවයන්ට පැමිණීම පමණයි. ඒ සඳහාද IMF ආයතනයේ සහාය ලැබෙන බව පෙනෙනවා. මෙම ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වන්නේ ආර්ථිකයට පවතින තෙරපුම අඩුවී ආර්ථික වර්ධනයට ලොකු තල්ලුවක් ලැබෙනවා.
මෙම ද්විපාර්ශ්වීය එකඟතාවන්වල ප්‍රතිඵලයක් වන්නේ ණය කල් දැමීම් මඟින් ණය පියවීම සඳහා කාලය දීර්ඝ වීමත් විදේශීය විනිමය ඉතිරි කර ගැනීමට රජයට හැකියාව ලැබීමයි. ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තරය තුළ ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීම හා පත්කිරීම පිළිබඳව ගොඩනැඟී ඇති විශ්වාසය එම විශ්වාසය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ විදේශීය ණය ගැනීම් හා විදේශීය ආයෝජන අවස්ථා පුළුල් කිරීමට වැදගත් සාධකයක්. කඩා වැටුණු ආර්ථිකයක් මෙසේ වේගයෙන් යථා තත්ත්වයට පත්වීමත් ලෝකයේ අනෙකුත් රටවලට අප රට ආදර්ශයක් සපයනවා. ලෝකයේ කඩා වැටුණු අනෙකුත් රටවල් සැලකීමේදී ග්‍රීසිය, ඊජිප්තුව, නිකරගුවාව, පාකිස්තානය තවමත් යථා තත්ත්වයට පත්වෙලා නැහැ. එහෙත්, අපට හැකියාව ලැබී තිබෙනවා ඉක්මනින් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට.
ණය ගෙවීම කල් දැමීම තුළ මෙරට ආර්ථිකයට ලැබෙන ශක්තිය මොන වගේද?
විදේශීය ණය ගෙවීම කල් දැමීම තුළින් ආර්ථිකයට සිදුවන වාසි සැලකීමේදී විශේෂයෙන්ම විදේශ විනිමය ඉතිරිය පෙන්වා දෙන්න පුළුවන්. විදේශ විනිමය ඉතිරිවීම නිසා විනිමය සංචිත ශක්තිමත් කළ හැකියි. ඒ තුළින් රුපියලයේ අගය ශක්තිමත්ව පවත්වා ගැනීමටත් ස්ථාවරව පවත්වා ගැනීමටත් හැකියාව ලැබෙනවා. රුපියල ශක්තිමත්ව පවත්වා ගැනීමට හැකියාව ලැබීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සපයනු ලබනවා. විශේෂයෙන් ආනයන භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාව ලැබීම සුවිශේෂ කරුණක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ මඟින් ජනතාවට සහනයක් ලැබෙනවා. විදේශ විනිමය ඉතිරිය තුළින් ඉදිරියේදී නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දේශීය අපනයන ශක්තිමත් කිරීම සඳහා ද රුකුලක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. කඩා වැටී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නඟාසිටුවීම සඳහා අමතර මුදල් ආයෝජනය රජයට හැකියාව ලැබෙනවා. ඉදිරියේදී විදේශ විනිමය ඉතිරිය තුළින් රජයට ණය ගෙවීමේ හැකියාව ද වැඩි වන බව පෙනෙනවා.
ඔබ කියන්නේ ආර්ථික අර්බුදය දැන් නිමාවක් වෙත ගමන් කරමින් තිබෙන බවද?
තවම අර්බුදය නිම වී නැහැ. විශේෂයෙන්ම අමෙරිකානු ඩොලර් බිලියන 14.7 ක් තරම් විශාල මුදලක් පෞද්ගලික ණය හිමියන් සමඟ එකඟතාවයන්ට පැමිණීම වැදගත් සාධකයක්. ශ්‍රී ලංකාව ලබා ඇති මුළු විදේශීය ණය ප්‍රමාණය සමඟ සැලකීමේ දී ද්විපාර්ශ්වීය ණය හිමියන්ගේ ප්‍රමාණය සැලකීමේදී තුනෙන් එකක් තරම් වූ ප්‍රමාණයක්. ණය ගෙවීම් කල් දැමීම සතුටට කරුණක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ තත්ත්වය තුළ ප්‍රතිඵලයන් ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායික සැලැස්මක් සකස් කිරීම ඉතා වැදගත් දෙයක් විදිහටයි පෙන්වා දීමට හැකියාව තිබෙන්නේ. ඉතිරි කරන මුදල් නිසි පරිදි ආයෝජන අවස්ථාවන් පුළුල් කරලීම සඳහා යොදා ගැනීම ඉතා වැදගත් වෙයි. ඉදිරියේදී පිහිටුවන ණය කළමනාකරණ ආයතනයට විශාල කාර්යභාරයක් සිදුකළ හැකියි. ලබාගන්නා ණය නිසියාකාර ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද? අවශ්‍ය ව්‍යාපෘතීන් සඳහා යොදවන්නේ කෙසේද? ව්‍යාපෘතීන් ඇගයීම හ ව්‍යාපෘතීන්වල අවසන් ප්‍රතිඵලය අනුව ආයෝජන අවස්ථාවන් ඇති කරන්නේ කෙසේද? යන්න පිළිබඳව විශාල ඇගැයීමක් කිරීමට සිදුවෙයි. එසේම ණය නිසි පරිදි පියවා දැමීම සඳහා ද සැලැස්මක් සකස් කළ යුතු වන අතර එම සැලැස්ම අනුව ආර්ථිකයට බරක් නොවන විදිහට සකස් කිරීම ඉතා වැදගත් දෙයක්. ඒ අනුව ආර්ථිකය ඉතා පහසුවෙන් ඉදිරියට යොමු කරවීමට පැහැදිලි හැකියාවක් තිබෙනවා.
කෙසේ වෙතත් සමස්තයක් ලෙස මෙයින් පෙනී යන්නේ තවදුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වීම සඳහා බලධාරීන්ගේ කැපවීම වැදගත් දෙයක් වගේම නිසි ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියක් ඇති කිරීම මඟින් අපේ රට ස්ථිරසාර සංවර්ධන මාර්ගයක් වෙත ගෙන යාමට පැහැදිලි හැකියාවක් තිබෙනවා.