Home » මධුර හඬින් සිත් සනහන මාපලගම බුද්ධසිරි නාහිමි

මධුර හඬින් සිත් සනහන මාපලගම බුද්ධසිරි නාහිමි

by mahesh
July 4, 2024 1:00 am 0 comment

(රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, මාතර වෙහෙරහේන පුරාණ රජමහා විහාරාධිවාසී මාපලගම බුද්ධසිරි නායක හිමියන්ගේ සූසැට වෙනි ජන්ම දිනය වෙනුවෙන් සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේදී පින්කම් මාලාවක් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

ලංකාවේ මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකික සංඝ ශාසනය දිදුල වූ මහසඟරුවන නියෝජනය වන්නේ ගාලු දිස්ත්‍රික්කයෙන් කියා කීවොත් එය මුසාවක් යැයි කිසිවෙකුට කිව නොහැකිය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, කහවේ රතනසාර නාහිමි, බද්දේගම පියරතන නාහිමි, වැලිවිටියේ සොරත නාහිමි, අකුරැටියේ අමරවංශ නාහිමි, බද්දේගම විමලවංශ නාහිමි, ගෝණාපීනුවල පුඤ්ඤසාර නාහිමි, මාපලගම විපුලසාර නාහිමි වැනි සංඝ පීතෘන් වහන්සේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු විවිධ පැතිකඩවලින් මේ ශාසනයට මහමෙහෙවරක් කළ ගාලු මහ දිසාවේ ජන්මලාභය ලැබූ යුගපුරුෂ උත්තමයන් වහන්සේයි.

මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ විශේෂ වූ සහජ හැකියාවකින් සසුන බබළවන, එම හැකියාවෙන් මහ ශාසනික මෙහෙවරක් කරන ගාලු මහ දිසාවෙන් සසුනට ජනිත කළ තවත් එක් ශාසනික විලේ පුබුදු වූ පියුමකි. උන් වහන්සේ ජන්ම ලාභය ලබනුයේ 1960 ජූලි මස 8 වැනි දිනය. පියාණන් වන එඩ්වඩ් කාරියවසම් මහතා සහ මෑණියන් වන පියවතී ලියනගේ මහත්මිය යන දෙපළ තුණුරුවන් පිළිබඳ අපමණ සැදැහැයෙන් යුතුව කටයුතු කරන දෙපළකි. මොනවා නොකළත් උදේ සවස බුදුන් වැඳීම නම් නොකරාම බැරිය. කවර පිනක් කර ගත්තත් දරුවකු සසුනට පූජා කිරීම තරම් තවත් පිනක් නැතැයි කල්පනා කළ මේ මවුපිය දෙපළ ජයරත්න නම් අට හැවිරිදි පුතු සසුන් ගත කිරීමට කතිකා කර ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස ජයරත්න කුලකුමරුවා 1971 දෙසැම්බර් මස 22 වැනි දින මාතර වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම රාජමහා විහාරාධිපති කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය සද්ධර්ම කීර්ති ශ්‍රී දවුලගල ශ්‍රී සංඝරතන නායක හිමියන්, දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති හිමියන් සහ වෙහෙරහේන රජමහා විහාරාධිවාසී ශාස්ත්‍රාචාර්ය මාතර ආනන්ද හිමියන් යන තෙනමගේ ආචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් විය.

තම විහාරස්ථානයෙහිම පවත්නා ශ්‍රී රේවත පිරිවෙනෙන් සාමණේර නමකට අවශ්‍ය වන මූලික බණ දහම් සහිතව ඇවැතුම් පැවැතුම් පිළිබඳ ශික්ෂණයක් ලද උන් වහන්සේ මාතර ශ්‍රී සුදස්සි පිරිවෙනට ඇතුළත්ව සිංහල, පාලි, සංස්කෘත භාෂා ශාස්ත්‍රයන් සහිත ධර්මය පිළිබඳ උසස් අධ්‍යාපනය ලදහ. පිරිවෙන් අවසාන විභාගය, උසස් පෙළ විභාගය ආදියෙන් උසස් ලෙස සමත් වූ බුද්ධසිරි හිමි 1980 ජූනි මස 14 වැනි දින කෝට්ටේ රජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේදී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පත්තියෙහි පිහිටියහ.

බණ දහම්

වෙහෙරහේන රජමහා විහාරස්ථානය නිරන්තරයෙන්ම වන්දනාකරුවන් යන එන පූජනීය ස්ථානයකි. රජමහා විහාරයේ නිර්මාතෘවරයාණන් වහන්සේ බෝධීන් වහන්සේ නමක් පමණක් වැඩ සිටි හිස් ඉඩමේ කටුමැටි ගෙයක් තනවා ගෙන 20 වෙනි සියවසේ ලෝකයේ ලොකුම බුදු පිළිම වහන්සේ සහිත විශාලතම උමං විහාරය කරවූහ. ආදර්ශසම්පන්න ජාතික කථා චිත්‍රයට නඟමින් උමං විහාර අලංකාර කර ඇත. කෙනෙකුට මෙහි මඟපෙන්වන්නෙකුගේ සහාය නොමැතිව පිළිවෙළකට සියල්ල නැරඹිය නොහැකිය. ඈත දුරබැහැර සිට පැමිණෙන සමහර අය බුදුපිළිම වහන්සේ පමණක් වන්දනාමාන කර ආපසු යති. මුදල් වියදම් කරගෙන පැමිණ හරිහැටි විහාරය නොබලා ආපසු යන අය ගැන අනුකම්පාවෙන් බුද්ධසිරි හිමි තීරණයක් ගති. තම ගුරුදේවයන් වහන්සේට ද සහාය වෙමින් විහාරස්ථානයේ ආගමික කටයුතු ඉටු කරමින් පැමිණෙන වන්දනාකරුවන්ට සහාය වෙමින් නාහිමිපාණන් වහන්සේ කරගෙන යනු ලබන ආගමික කටයුතු සහ සමාජසේවා කටයුතුවලට ශක්තියක් වෙමින් කටයුතු කිරීම තම ගුරුදේව නාහිමිපාණන් වහන්සේට ගෞරවයක් මෙන්ම වගකීමක් ද වෙයි. එබැවින් පිරිවෙන් අධ්‍යාපනයට ආයුබෝවන් කියා විහාරස්ථානයේ කටයුතුවලට සම්බන්ධ වූහ.

ආගමික අවශ්‍යතා

ස්වකීය ගුරුදේවෝත්තම දවුලගල සංඝරතන නායක හිමියන් වෙනුවෙන් විහාරස්ථානයෙන් ඉටුවිය යුතු යුතුකම් ද ඉටු කරමින් කටයුතු කිරීම නාහිමිපාණන් වහන්සේට විශාල සහනයක් විය. එබැවින් සමහර අවස්ථාවල දින ගණන් විහාරස්ථානයෙන් බැහැරව විවේකීව වැඩ සිටීමට නාහිමිපාණන් වහන්සේට ඉඩකඩ ලැබුණි. බුද්ධසිරි හාමුදුරුවන් තරුණ වයසේ වුව පරෝපවාදයන්ගෙන් තොරව ස්වකීය දායකකාරාකාදීන්ගේ සියලු ආගමික අවශ්‍යතා ඉටු කරනු ලැබුයේ ඒ අය බලාපොරොත්තු වූවාට වඩා උසස් ලෙසය. ප්‍රදේශයේ මහා සංඝරත්නයේ ද ප්‍රසාදයට පත් උන්වහන්සේට විහාරස්ථානයේ ආගමික කටයුතු සඳහා මහා සංඝරත්නයේ අඩුවක් කිසිදා නොවූයේය. වසර 15ක පමණ කාලයක් කැපවීමෙන් මේ සේවාව කළ අතර සහජයෙන් පිහිටි කුසලතාවන් දියුණු කර ගැනීම ද සිදු කළේය.

උන්වහන්සේගේ කටහඬ ගැඹුරුය. මිහිරිය. කන්කලුය. රැවු දිදී නැළවි නැළවී විනිවිද යයි. එය ආයාසයකින් ඇති කර ගත්තක් නොවේ. සහජයෙන්ම ඇතිව නිරායාසයෙන්ම සිදු වන්නකි. එවක වැඩ සිටි ශ්‍රාවක ප්‍රසාදය දිනා ගත් විචිත්‍ර භාණකයන් වහන්සේලාගේ සජ්ඣායන ශ්‍රවණය කිරීමෙන් සජ්ඣායන මාත්‍රඥතාව අවබෝධ කරගෙන සරභඤ්ඤ නෛපුණ්‍යත්වය දියුණු කර ගත්හ. ඉතා කෙටි කලකින් සමාජය පිළිගත් භාණකයන් වහන්සේලා සමඟ හරි හරියට උච්චාරණ කුසලතාව සමඟ සජ්ඣායනය කිරීමට අවස්ථාව උදා කර ගත්හ. පන්සිල්දීම, දේවතාරාධනය, පිරිත් පේ කිරීම, පිරිත් පිරීම, යුග දේශනා, සූත්‍ර දේශනා, හමාර දේශනා, අනුශාසනා දේශනා, මෛත්‍රීවර්ණනා දේශනා, යුගාසන ධර්ම දේශනා, පිංවාක්‍ය දේශනා ආදිය කරනු ලබනුයේ බුද්ධසිරි හාමුදුරුවො නම් ශ්‍රවණය කරන සියලු දෙන සමාධියකට සමවැදුනාක් මෙන් නිහඬය. පුළුන් රොදක් බිම වැටෙන ඉතා සියුම් කම්පනය වුවද දැනෙන තරම් නිසංසලය. එය උන් වහන්සේගේම දේශනා චාතුර්යයයි.

1995 වෙසක් මහේ 9 වැනි දින රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වශයෙන් උන්වහන්සේගේ ජීවිතයේ නව නැම්මක් ඇති කර ගත්හ. ඉතා කෙටි කලකින් තම විහාරස්ථානය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කර ගැනීමට උන්වහන්සේ දක්ෂ වූහ. දෙමහල් සංඝාවාසය, විහාර මන්දිරය, බෝධීන් වහන්සේ සමීපයේ ධර්ම ශාලාව සහිත දෙමහල් මන්දිරය, පහළ මහලේ දහම් පාසල් පන්ති කාමර සහිත ඉහළ මහලේ චෛත්‍යරාජයාණන් වහන්සේ ආදී කොට ඇති ගොඩනැඟිලි රාශියක් දෙස් විදෙස් හිතවතුන් ඇතුළු කුලුපග දායකකාරකාදීන්ගේ අනුග්‍රහය ඇතිව ඉදිකරවීමට සමත් වූහ. කොළඹට වැඩම කළ බුද්ධසිරි හාමුදුරුවන්ගේ සහභාගිත්වය නොමැතිව විහාරස්ථානයක පිරිත් පින්කමක් නොපැවැත්වෙන තරම්ය. හොඳට පිරිත් දේශනයක් පවත්වා ගැනීමට නම් බුද්ධසිරි හාමුදුරුවන්ගේ සහභාගිත්වය අත්‍යවශ්‍යමය යැයි විහාරාධිපති නාහිමිවරු විශ්වාස කළහ. එබැවින් උන්වහන්සේට කොළඹ පැමිණීමෙන් විවේකයක් නම් නොලැබුණි. රජමැදුරේ සිට පැල්පත දක්වා ඇති නැති පරතරයක් නොමැතිව ළෙන්ගතුව උන්වහන්සේගේ සේවය ලබා දුන් බව සඳහන් කළ යුතුය.

දම් දෙසුම්

නිකාය භේදයකින් තොරව බුද්ධසිරි හාමුදුරුවන් කරන ශාසනික සේවය ස්වකීය සංඝ සභාවට ද ගෞරවයක් විය. එබැවින් සංඝ සභාවේ කාරක සභික ධුරයකට සහ කර්ම වාගාචාර්ය ධුරයකට පත් කිරීමෙන් පමණක් සෑහීමකට පත් නොවී ගාලු කෝරළයේ හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක ධුරය ද පිරිනැමීමෙන් උන්වහන්සේගේ සේවය ඇගයීමට ලක් කළහ. අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කොළඹ සංඝ සභාව “ත්‍රිපිටක ධර්මකීර්ති ශ්‍රී සරභඤ්ඥ විශාරද”යන ගෞරව උපාධිය පිරිනමමින් උන්වහන්සේගේ දේශනා චාතුර්යය අගයමින් උපහාරයට බඳුන් කළහ.

බුද්ධසිරි හාමුදුරුවන්ගේ දේශනා විලාසයට ඇලුම් කළෝ ලාංකිකයෝ පමණක් නොවෙති. ඉංග්‍රීසි ජාතික, කාම්බෝජ ජාතික, වියට්නාම් ජාතික, චීන ජාතික බෞද්ධයෝ පමණක් නොව අන් ආගමිකයෝද උන්වහන්සේගේ සජ්ඣායන ශ්‍රවණයට ප්‍රිය කළහ. එබැවින් හැම වසරකම වාගේ අමෙරිකාවෙන්, එංගලන්තයෙන්, ප්‍රංශයෙන්, ඉතාලියෙන්, සිංගප්පූරුවෙන්, මැලේසියාවෙන් එම රටවලට වැඩමවීමට ආරාධනා ලැබෙයි. එම රටවල උන්වහන්සේ හඳුන්වනුයේ “පිරිත් රජ්ජුරුවෝ” යන අන්වර්ථ නාමයෙනි.

මෙහෙවර

මෙයට අමතරව තවත් වැදගත් ශාසනික මහ මෙහෙවරක් උන්වහන්සේ ඉටු කර ඇත. උන්වහන්සේගේ අවවාද අනුශාසනා මඟපෙන්වීම යටතේ හැදුණු වැඩුණු පැවිදි ශිෂ්‍ය පිරිසක් සිටිති. ප්‍රධාන ශිෂ්‍ය කටුබැද්දේ ගුණරතන පිරිවෙනේ විශ්‍රාමික නියෝජ්‍ය පරිවේණාධිපති පහළඕබඩ සුනීත හිමි, අමෙරිකාවේ මාපලගම වජිර හිමි, කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආචාර්ය උඩවලවේ ජිනසිරි හිමි, ලුණුගම්වෙහෙර මහින්දාරාමාධිපති දෙබොක්කාවේ පියරතන හිමි, කැටියපේ අතුල හිමි, බෝගල්ආරේ ධම්මාරාම හිමි, තල්ගම්පල සිරිසුමන හිමි සහ කඹුරුපිටියේ සුමනසාර හිමිවරු ද වෙති.

සූසැට වසරක් සපිරෙන ත්‍රිපිටක සද්ධර්ම කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද ගාලු කෝරළයේ හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක මාපලගම බුද්ධසිරි නායක හිමියන්ට නිදුක් නීරෝගි සුව සහ දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනය කරමින් මේ මස 7 වෙනි දින පෙ.ව.9.00ට නොමිලේ අක්ෂි හා ශ්‍රවණ පරීක්ෂාව, අඩු ආදායම්ලාභීන්ට ඇස් කණ්ණාඩි ලබාදීම පිණිස ලියාපදිංචි කිරීම, අඩු ආදායම්ලාභීන්ට නොමිලේ අක්ෂිකාච ලබාදීම සඳහා ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් සංවිධාන කර ඇත. මේ මස 8 වෙනි දින පස්වරු 3.00ට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් ප්‍රදේශයේ දූදරුවන්ගේ ප්‍රයෝජනය පිණිස ඉදිකරනු ලැබූ “ඉන්ෆොනෙට් ඒෂියා පරිගණක පාසල” විවෘත කිරීම ඇතුළු ආශීර්වාද පිරිත් දේශනයක්, ගිලන්පස දානයක් සහ අටවිසි බුද්ධ පූජා පින්කමක් පැවැත්වීමට ශිෂ්‍ය පිරිස සහ දායක සභාව කටයුතු සංවිධාන කර ඇත. උපතින් සූසැට වසරක් සපිරෙන නායක හාමුදුරුවන් වහන්සේට නීරෝගි සම්පත් සහ දීර්ඝායු සම්පත් තෙරුවන් සරණින් සැලසේවායි පතමු.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ 
ඉන්දසර නායක හිමි, 
කොළඹ කොටුව 
ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති 
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT