Home » SHMA සංචාරක නිපුණතා සහ සංවර්ධන වැඩසටහනේ පළමු පාඨමාලා සහතික ප්‍රදානයෙන්

SHMA සංචාරක නිපුණතා සහ සංවර්ධන වැඩසටහනේ පළමු පාඨමාලා සහතික ප්‍රදානයෙන්

by mahesh
July 4, 2024 1:00 am 0 comment

පාඨමාලාධාරීහු, ප්‍රධාන ආරාධිතයා ඇතුළු පිරිස සමඟ

ස්විට්සර්ලන්ත රජය, ස්විස් සංවර්ධන සහ සහයෝගීතා ආයතනය හා බවර් සමාගම එක්ව ක්‍රියාවට නැංවූ ‘තිරසර වර්ධනය සඳහා වූ නිපුණතා (Skills for Sustainable Growth -SSG) වැඩසටහන‘ යටතේ සංචාරක පුහුණුව ලබාගත් පළමු ශිෂ්‍ය කණ්ඩායමේ පාඨමාලා සහතිකපත් ප්‍රදානෝත්සවය ඉකුත් ජුනි 4 වැනිදා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පවතින විවිධ රැකියා අවස්ථා වෙනුවෙන් මෙරට තරුණ පරපුර විධිමත් ලෙස සූදානම් කිරීමේ අරමුණින් මෙම SSG වැඩසටහන දියත් කර තිබේ. මාස නමයක මෙම පුහුණු වැඩසටහනට මාස 4ක පන්ති කාමර දේශන සහ මාස 5ක වැටුප් සහිත ආධුනිකත්ව පුහුණු කාලසීමාවක් අයත්විය.

ස්විස් වෘත්තීය නිපුණතා සංවර්ධන විෂය මාලාව පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද SSG වැඩසටහන හරහා මෙරට සංචාරක කර්මාන්තයටත් පොදුවේ රටේ ආර්ථිකයටත් දැවැන්ත දායකත්වයක් ලබාදීමට අපේක්ෂිතය. දැනට සංචාරක කර්මාන්තය තුළ ඇති කුසලතා හිඟය මගහරවාගැනීමටත්, ක්ෂේත්‍රය තුළ ගුණාත්මක අධ්‍යාපන ප්‍රමිතීන් ගොඩනැඟීමටත්, සංචාරක කර්මාන්තයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු කිරීමටත් මෙම වැඩසටහන අරමුණු කරයි.

පාඨමාලා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පැවැත්වුණේ මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී ය. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විස් තානාපති සිරි වෝල්ට් මහතා ද, තානාපති කාර්යාලයේ පළමු ලේකම් (සංක්‍රමණ) ඩොරිස් මැනර් මහතා ද බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා ද, ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක මහතා සහ එහි නිලධාරීන් ද, ව්‍යාපෘතියට සම්බන්ධ හෝටල්වල සාමාන්‍යාධිකාරීවරුන් ද, ස්විස් හොස්පිටැලිටි ඇන්ඩ් මැනේජ්මන්ට් ඇකඩමි (Swiss Hospitality & Management Academy- SHMA) ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයින් ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

The SSG වැඩසටහනේ පළමු පුහුණු මධ්‍යස්ථාන දෙක මාතලේ සහ මහනුවරදී පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ විය. ඉකුත් දෙසැම්බර් මාසයේදී නුවරඑළිය පුහුණු මධ්‍යස්ථානයෙ විවෘත කිරීමත් සමඟ සමස්ත මධ්‍යම පළාතම ආවරණය කිරීමට වැඩසටහනට හැකිවිය. 2023 වර්ෂයේදී වැඩසටහනට එක්වූ ශිෂ්‍ය සංඛ්‍යාව 206ක් වූ අතර ඉන් 54ක් ශිෂ්‍යාවෝ වූහ. එම සෑම පුහුණු මධ්‍යස්ථානයකම 26%ක කාන්තා නියෝජනයක් ළඟාකර ගැනීමට ද වැඩසටහන ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් විය. මෙම වැඩසටහන වෙනුවෙන් ජාතික යොවුන් සේනාංකය ද SHMA සමඟ එක්වූ අතර පුහුණු මධ්‍යස්ථාන ද ජාතික යොවුන් සේනාංක පරිශ්‍රවල ස්ථාපිත කර තිබේ.

SSG වැඩසටහනට අනුග්‍රහය දක්වන්නේ බවර් සමාගමට අනුබද්ධිත SHMA ආයතනයයි. SHMA යනු ඉහළ ගුණාත්මකබවින් යුත් හෝටල් වෘත්තිකයින් බිහිකිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ උසස් අධ්‍යාපනයක් ලබාදෙන ආයතනයකි. එය වර්ෂ 1893 සිට සංචාරක කර්මාන්ත අධ්‍යාපනයේ ප්‍රමුඛයෙකුවන EHL වෘත්තීය ඩිප්ලෝමා පිරිනැමීමේ අවසරලත් අධ්‍යාපන ආයතනයකි. EHL වෘත්තීය ඩිප්ලෝමා සතුව ලොව පුරා රටවල් 120ක 25,000කට වැඩි සිසුන් ජාලයක් පැවතීම කැපී පෙනේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT