ජනාධිපතිවරණය හෝ වෙනත් කිසිඳු මැතිවරණයක් කල් දැමීමට ජනාධිපතිවරයාට හෝ රජයට කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා අවධාරණය මැතිවරණයකට ඉදිරිපත්වීමට තරම් කොන්දක් නොමැති විපක්ෂය මැතිවරණ කල්දමන කතා කීවද රජය නියමිත පරිදි ව්‍යවස්ථානුකූලව මැතිවරණ පවත්වන බවයි.
ගම්පහ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (4) මේ බව සඳහන් කළේය.
එහිදි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
පැරිස් සමුළුවෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ නිවරදි ආර්ථික ප්‍රථිපත්ති නිසයි. ඒ වගේමට ඉදිරියේදීත් රටත් ජනතාවත් බළාපොරොත්තුවන ආර්ථි, දේශපාලන හා සමාජ ප්‍රථිසංස්කරණ ක්‍රියාවලිය සිදුකළ හැක්කේ වත්මන් ජනාධිපතිවරයාට පමණයි.ඒක නිසා තමයි අපි කියන්නේ මෙය අත්හදා බැලීම් සිදුකිරීමට වේලාවක් නොවන බව. ඒ නිසා නැවත වරක් ඔහු ජනාධිපතිධූරයට පත්කරගෙන ඉදිරිවසර පහක කාලය තුළ ලංකාව ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකයක් හිමි රටක් බවට පත්කර ලක හැකියි.
ඔබ මීට වසර දෙකකට පෙර රට තිබුණු තැන ගැන හිතන්න. ඉන්ධන නෑ, බේත් නෑ, ගෑස් ටික නෑ, පොඩි දරුවට කිරිපිටි ටික නෑ, අත්‍යවශ්‍ය සේවා නතරවෙලා. ඉදිකිරීම් කර්මාන්ත සියල්ලම කඩා වැටිලා. මුළු රටම අපේක්ෂා භංගත්වයට පත්වෙලා තිබුණේ.
ජනාධිපතිතුමා භාරගත්තේ විපත්තියට ඇද වැටුණු රටක්, දරුණු ආර්ථික අර්බුදය එක පැත්තකින්, දැවැන්ත ජනතා විරෝධය තවත් පැත්තකින්.
ඒ වෙලාවේදි පොහොට්ටුවේ අපි රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපතිධූරයට පත් කර ගත්තා. අපිට රනිල් වික්‍රමසිංහ මහත්තය එක්ක දේශපාලන ඇරියස් හුඟාක් තිබුණා.නමුත් රට වෙනුවෙන් අපි ඒවා අමතක කළා. අවුරුදු දෙකකට පස්සේ අද රට තියෙන තැන ගැන බලද්දි අපිට සතුටු වෙන්න පුළුවන් අපි එදා ගත්ත තීරණය සියයට සියයක්ම හරි කියලා.
දැන් කතාවක් යනවා ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දමන්න හදනව කියල. හොඳින් මතක තියාගන්න ජනාධිපතිතුමාටවත්, අපිටවත් ජනාධිපතිවරණය කල් දමන්න කිසිම වුවමනාවක් හෝ අවශ්‍යතාවයක් නෑ. අපි ඡන්දයට සූදානම්.ව්‍යවස්ථාවට අනුව අපි
නියමිත වේලාවට ජනාධිපතිවරණය තියනවා. ඒක ස්ථීරයි. ඡන්ද කල්දමන කතා කියන්නේ මැතිවරණයකට ඉදිරිපත් වෙන්න තරමේ කොන්දක් නැති විපක්ෂයයි. රටට අභියෝගයක් පැමිණි අවස්ථාවේ ඊට මුහුණ දීමට තරම් ශක්තිමත්කොන්දක් තිබුනේ
ජනාධිපතිවරයාට පමණයි. ස.ජ.බයයි, මාලිමාවයි සුරංගනා කතා කියනවා. ඒවට ජනතාව රැවටෙන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ වෙස් වලාගෙන මාලිමාව කියල වෙන නමකින් ඇවිල්ලා තියෙනවා.
ඒත් ඒ අයගෙ ලෙයින් පෙඟුණ ඉතිහාසය මකන්න කාටවත් බෑ. විපක්ෂනායකතුමයි, අනුර කුමාර මහත්තයයි හොඳයි මළ ගෙවල්වල පාළු කපන්න. ඒ නිසා ඒ දෙන්න ඒ වැඩේට තියාගනිමු. රට හදන වැඩ රට ගොඩදාපු රනිල්ට භාර දෙන්න.
පොහොට්ටුව ජනතාවාදී පක්ෂයක්. රට එක්සේසත් කළ ජනතාවාදී නායක මහින්ද රාජපක්ෂ මහතා නියම වෙලාවට අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියල සුබ හෝරාවෙන් රටට කියාවි. අපිට ඉන්නේ දිනන අපේක්ෂකයෙක්. අපි ඉන්නේ දිනන පැත්තේ. ඒක නිසා “පොහොට්ටුවේ අපේක්ෂකයා මමයි” කියල හන්දි ගානේ, පේමන්ට් ගානේ කයිවාරු ගහන අය කියන කතා ගණං ගන්න එපා. අපි එදාටත් වඩා ශක්තිමත්ව අද ඉදිරියට යනවා.
සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම උදෙසා ආර්ථික වර්ධනයට සමාන්තරව සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතුයි. අපේ රටේ ජනතාවත් දැවැන්ත දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් බලාපොරොත්තු වෙනවා. වැඩ කරපු හා තමන්ට
වැඩක් කළ හැකි නායකයා බවට රටට ඔප්පුකළ නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි. රනිල් තමයි මිනිහා කියලා ගම්වල ජනතාව දැන් කියන්නේ ඒ නිසයි.