Home » කුමන බාධා-අභියෝග ආවත් මත්ද්‍රව්‍ය අතුගා දමන තුරු මෙහෙයුම් දිගටම
අද සිට යුක්තිය මෙහෙයුම් දැඩි වෙයි

කුමන බාධා-අභියෝග ආවත් මත්ද්‍රව්‍ය අතුගා දමන තුරු මෙහෙයුම් දිගටම

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්

by mahesh
July 4, 2024 1:00 am 0 comment

කුමන බාධා අභියෝග පැමිණිය ද යුක්තිය මෙහෙයුම තවදුරටත් අද (04) සිට නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

මේ වන විට මෙරටින් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ යුක්තිය මෙහෙයුමෙන් මාස හයක් තුළ රටේ මත්ද්‍රව්‍ය ගෙන්වන්නන්, බෙදාහරින්නන් ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගනිමින් මත්ද්‍රව්‍ය ජාලය බිඳ දමා ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

මේ බව ඇමැතිවරයා සඳහන් කළේ පෙරේදා (02) සවස කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැති ටිරාන් අලස් මහතා කියා සිටියේ දෙස් විදෙස් අභියෝග මධ්‍යයේ තමාගේ ජීවිතයට පවා තර්ජන එල්ල වීම මෙම මෙහෙයුම හමුවේ සිදුවූ බවය. රටේ ඉදිරි පරපුර වෙනුවෙන් තම ජීවිතය ගැන ද නොසිතමින් මෙරටින් මුළුමනින්ම විෂ මත්ද්‍රව්‍ය ඉවත්වන තුරු මෙම මෙහෙයුම සිදු කරන බව ද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේ මාස හයක කාලයක් තුළ ජාවාරම්කරුවන් 5,449ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසීය.

දැනට පොලිස් කොට්ඨාසය වෙත වාර්තා වී ඇති මුළු ජාවාරම්කරුවන් ගණන 5,979ක් බවත් අත්අඩංගුවට ගැනීමට සිටින පිරිස 530ක් බවත් පොලිස්පතිවරයා කීවේය. වැඩිම ජාවාරම්කරුවන් සිටින්නේ බස්නාහිර පළාතේ බවත් එම පිරිස 2251ක් බවත් පැවසූ පොලිස්පතිවරයා, ඉන් ජාවාරම්කරුවන් 2026ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද කීවේය. අත්අඩංගුවට ගැනීමට සිටින ගණන 225කි.

එසේම යුක්තිය මෙහෙයුම මඟින් මෙම මස 04 වැනිදා සිට ජනතාවට දැනෙන ආකාරයේ මෙහෙයුමක් සිදු කරන බව ද පොලිස්පතිවරයා සඳහන් කළේය. මින් ඉදිරියට ගිනි අවි භාවිත කළ හැක්කේ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පමණක් බව ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පුද්ගලයන්ගේ නීති විරෝධීව ඉපැයූ වත්කම් රුපියල් මිලියන 1425ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් පුද්ගලයන් 837කගේ වත්කම් විමර්ශනය ආරම්භ කර ඇති බවත් ඔහු කියා සිටියේය.

හෙරොයින් කිලෝ 412ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 426ක්, කොකේන් කිලෝ 15ක්, ගංජා කිලෝ 5109ක්, අබිං කිලෝ 15ක්, හෂීස් කිලෝ 11ක්, ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 65ක් ඇතුළු රුපියල් මිලියන 19,075ක් වටිනා මත්ද්‍රව්‍ය මේ වන විට යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස්පතිවරයා කියා සිටියේය. මේ වන විට පසුගිය වසරට සාපේක්ෂව අපරාධ 24%කින් අඩු වී ඇති බවත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT