Wednesday, April 23, 2025
Home » ලෝක කුසලානය සමඟ දින 4ක් සිරව සිටි ඉන්දීය ක්‍රිකට් පිල අද නවදිල්ලියට

ලෝක කුසලානය සමඟ දින 4ක් සිරව සිටි ඉන්දීය ක්‍රිකට් පිල අද නවදිල්ලියට

රතු පලස මතින් පිළිගැනීමට අගමැති මෝදි සූදානමින්

by mahesh
July 3, 2024 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

කැරිබියානු කලාපයේ මෙතෙක් හමාගිය දෙවැනි දරුණුතම කුණාටුව වූ බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් දින 4ක් බාබඩෝස්හි හොටලයක සිරවී සිටි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් විස්සයි20 ලෝක කුසලානයද සමඟ ඊයේ කුලියට ගත් ගුවන්යානයකින් සියරට බලා පිටත් විය.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රි 7.45ට නවදිල්ලි ගුවන්තොටුපොළ වෙත ගොඩ බැසීමට නියමිතය. අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ක්‍රීඩකයන්ට රතු පලස මතින් රාජ්‍ය උපහාර පිරිනැමීමට නියමිත නමුත් එම ඉසව්වේ කාලසටහන තවමත් ප්‍රසිද්ධ කොට නැත.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම විස්සයි20 ලෝක කුසලානය පසුගිය සෙනසුරාදා රාත්‍රියේ දිනාගෙන බාබඩෝස්හි පිහිටි තරු පහේ හෝටලයට පැමිණියද හදිසියේ හමා ආ බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් ගුවන්තොටුපොළ වසා දමා රට අගුළු දැමීය. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්, සහාය කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සහ ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා හා ක්‍රිකට් නිලධාරීන් ඇතුළු 70කට අධික පිරිසක් මේ හේතුවෙන් හෝටලයෙන් පිටතට පැමිණීමට නොහැකිව සිරවිය.

බාබඩෝස් ගුවන්තොටුපළ ඊයේ පස්වරු 4-5 වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ අතර, සාමාජිකයන් 70කට ආසන්න ප්‍රබල ඉන්දීය කණ්ඩායම විශේෂ ගුවන්යානයකින් ගමන් ආරම්භ කළේය. නිව්යෝර්ක් වෙත පැමිණ ඩුබායි හරහා නවදිල්ලියට පැමිණීම මූලික සැලැස්ම වුවද, මතුවූ තත්ත්වය හමුවේ කුලියට ගත් යානය බාබඩෝස් සිට නවදිල්ලි බලා පැය 21ක සෘජු ගුවන් ගමනක් ලෙස සංවිධානය විය.

“අපි හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා සාමාන්‍ය මෙහෙයුම් වෙනුවෙන් නැවත ගුවන්තොටුපොළ ආරම්භ කරනවා. ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය දැන් ඔවුන්ගේ කටයුතු අවසන් කරමින් සිටිනවා. පිටත්ව යාමට නියමිතව සිටින පුද්ගලයන්ට පහසුකම් සැලසිය හැකි බවට වග බලා ගැනීමට අවශ්‍යයි. ක්‍රිකට් ලෝක කුසලානය සඳහා පැමිණි සියලු අමුත්තන් ආරක්ෂිතව පිටත් කළ යුතුයි. කුණාටුව ගොඩබිමට නොපැමිණීම ගැන අපි සතුටු වෙනවා” බාබඩෝස් අගමැතිනී මියා මොට්ලි ඊයේ ප්‍රකාශ කළාය.

ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ ෂා බාර්බඩෝස්හි වාර්තාකරුවන්ට පැවසුවේ “ඔබලා වගේම අපිත් මෙතන හිරවෙලා. මුලින්ම, අපි ක්‍රීඩකයන් සහ සියලු දෙනාම ආරක්ෂිතව මෙතැනින් ඉවත් කරන්නේ කෙසේදැයි බැලිය යුතුයි. ඉන්දියාවට පැමිණීමෙන් පසු බලමු සුබ පැතුම් උත්සව පිළිබඳව. දැන් සුබ පැතුම් ගැන කතා කරන්න බෑ” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT