ආර්ථිකය ස්ථාවර කිරීමේ අසීරු කාර්ය ජනාධිපතිවරයා සිදු කරන අතර විපක්ෂයක් ලෙස එය අවබෝධ කර ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02) පැවැසීය.
විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සහ එහි අන්තර්ගතය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවැසීය.
විපක්ෂ නායකවරයා තවදුරටත් මෙසේද පැවැසීය.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ඍජුව සාකච්ඡා කර රට වෙනුවෙන් වාසිදායක ගිවිසුම්වලට ප්‍රවේශ වීමට විදේශ සංචාර රැසක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබුණත් ඔහු ඊට ජනාධිපති සමත් වී නැහැ.
ජනාධිපතිවරයාගේ කතාව හොඳින් අසා සිටියා. අපි එක දෙයකට එකඟ වෙනවා. කාර්යයේ අසීරු බව අපි අවබෝධ කර ගෙන සිටිනවා. එය ලේසි පහසු කාර්යයක් නොවෙයි. එය අසීරු කාර්යයක්. ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව සහ ගිවිසුම් පිළිබඳව ප්‍රකාශ ගණනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා.
එක වේලාවක ප්‍රකාශ කළා ලංකාව අනෙකුත් රටවලට වඩා ඉතා ඉක්මනින් ණය ප්‍රතිව්‍යූහගතකරණය කළා කියලා. එය සත්‍යයෙන් තොර ප්‍රකාශයක්. ඝානාව, ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, මොංගෝලියා, බෙලීස්, බාබේඩෝස් මෙවැනි රටවල් අපේ රටට පෙර සීමාසහිත කාලවකවානුවක් තුළ ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කරන්න සමත් වුණා.
සියයට 37 ක ණය කප්පාදුවක් ගන්න ඝානාවට හැකිවුණේ ඝානාවේ මොහොමඩ් අමීන් අඩන් මුදල් ඇමැතිවරයා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ඍජුව කතා කරලා විශ්වාසය දිනාගත් නිසයි.
විදේශ සංචාර රැසක නිරත වූ අපේ ජනාධිපතිවරයාට තිබුණා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ඍජුව කතා කරලා රට වෙනුවෙන් වාසිදායක ගිවිසුම්වලට ප්‍රවේශ වෙන්න. ආර්ජන්ටිනාවේ මුදල් ඇමැතිවරයා 2021 දී මුදල් ඇමැතිවරයා ලෙස ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ඍජුව කතා කරලා ආර්ජන්ටිනාව වෙනුවෙන් ණය කප්පාදුවක් ලබා ගත්තා. ඉක්වදෝරයේ මුදල් ඇමැතිවරයා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ඍජුව කතා කර ඉක්වදෝරය වෙනුවෙන් විශාල ණය කප්පාදුවක් ලබාගත්තා.
ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කර තිබෙන තාක්ෂණික වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙනවා කියලා. නමුත් කිසිදු වාර්තාවක් පාර්ලිමේන්තුට ලබාදීලා නෑ. ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාට චෝදනා කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන සියලු වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙන්න කියලා. ජනාධිපතිවරයාට දැන් අවස්ථාව තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කර තිබෙන තාක්ෂණික වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙන්න. එවිට එම වාර්තා පරිශීලනය කර ඒ පිළිබඳව අදහස් යෝජනා ඉදිරිපත් කරන්න අපිටත් පුළුවන්.
හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට ජනාධිපතිවරයා දුරකතන ඇමතුමක් ලබාදීලා යෝජනා කරලා තිබෙනවා සඳුදා දිනයේ මුදල් කමිටුව කැඳවලා කොහොමහරි ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ යෝජනාව මුදල් කමිටුව හරහා අනුමත කරලා දෙන්න කියලා. හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන් කරුණාකරලා ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ගිවිසුම ලබාදෙන්න කියලා. ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා තිබෙන නිසා buy lateral credits එක්ක ඇති කරගත්ත ගිවිසුම ලබාදෙන්න බෑ කියලා. හදිසියේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අගමැතිවරයා කැඳවා ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන පාර්ලිමේන්තුවේදී දෙදින විවාදයක් කරන බව පවසලා තිබෙන අවස්ථාවක අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනගෙන හිටියේ නැද්ද ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් වන ගිවිසුම් සම්පූර්ණයෙන් අවසන් කළේ නැති බව. රජයේ මධ්‍යම ස්නායු පද්ධතිය වැඩ කරන්නේ නෑ.
ජනාධිපතිතුමනි, මන්දපෝෂණය වැඩි වීම සුබද අසුබද, රැකියා අහිමි වීම සුබද අසුබද, රටේ උගතුන් රට හැරයාම සුබද අසුබද, දුප්පත්කම වැඩි වීම සුබද අසුබද, කුඩා මධ්‍ය කර්මාන්ත වැසී යෑම සුබද අසුබද, ව්‍යවසායකයින් ව්‍යාපාරවලින් ඉවත් වීම සුබද අසුබද, ඉදිකිරීම් කර්මාන්තය කඩාගෙන වැටෙන කොට සුබද අසුබද, ආහාර වේල් තුනෙන් එකක් හෝ ජනතාව ගන්නේ නැති කොට සුබද අසුබද.
ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා යන අතරතුර ජනාධිපතිවරයාට අපි අවසර දෙන්නම් ගිහින් ස්වෛරී බැඳුම්කර හිමියන් හමුවෙන්න. ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කරලා ඉක්වදෝරය, ආර්ජන්ටිනාව, ඝානාවේ මුදල් ඇමැතිවරු රට වෙනුවෙන් ලබාගත් සහනය, ණය කප්පාදුව ලබාගන්න කටයුතු කරලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වලා සාකච්ඡා සාර්ථක කරගන්න කටයුතු කරන්න. ණය ප්‍රතිව්‍යූහගතකරණය දේශපාලනීකරණය කරගන්න එපා කියලා ජනාධිපතිවරයාට ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍ර අනුව රටේ ජනතාව බිල්ලට තියන්න එපා. දේශපාලන කාලසටහන අනුව කටයුතු කරන්න ගිහින් නරක ගිවිසුමකට එළඹෙන්න එපා කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.