Wednesday, April 23, 2025
Home » ව්‍යවසායක කාන්තාවන්ට හයිය දෙන්න කෝටි 200ක්

ව්‍යවසායක කාන්තාවන්ට හයිය දෙන්න කෝටි 200ක්

by mahesh
July 3, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබලගැන්වීම සඳහා රුපියල් බිලියන 02ක් (කෝටි 200) වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ එම යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල සිටින දිරිය කාන්තාවන් තෝරාගෙන ඔවුන්ට මූල්‍යාධාරයක් ලබා දීමට මේ මඟින් කටයුතු යොදා ඇති බව හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා කාන්තා සහභාගිත්වය විවිධ කරුණු හේතුවෙන් අනෙකුත් කලාපීය හා ආසියානු රටවලට වඩා පහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය කරනු ලැබ ඇති බව ගුණවර්ධන මහතා කීවේය. 2022 වර්ෂයේදී සිදු කරන ලද ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකාය පිළිබඳ සමීක්ෂණයට අනුව, ආර්ථික වශයෙන් සක්‍රිය ජනගහනයෙන් 35%ක් කාන්තාවන් වන අතර, එමඟින් ආර්ථික සහභාගිත්වයේ ස්ත්‍රී පුරුෂ දායකත්ව අනුපාතවල සැලකිය යුතු විෂමතාවක් නිරූපණය වන බව හෙතෙම පැවසීය. සීමිත මූල්‍ය සාක්ෂරතාව සහ ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන දේපළ හෝ වෙනත් ඇප හිමිකමක් කාන්තාවන්ට නොමැති වීම ආදි මූල්‍ය සම්පත් වෙත ප්‍රවේශ වීම සඳහා පවතින අවස්ථා අවම වීම යන කරුණු ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධාන බාධක ලෙස හඳුනාගනු ලැබ ඇති බව ඇමැතිවරයා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT