Home » පාසල් 3000ක ව්‍යවසායකත්ව කව ස්ථාපිත කරනවා

පාසල් 3000ක ව්‍යවසායකත්ව කව ස්ථාපිත කරනවා

by mahesh
July 3, 2024 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

පාසල් මට්ටමේ සිටම ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් පළමු අදියරේදී පාසල් 3000ක ව්‍යවසායකත්ව කව ස්ථාපිත කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදයෙන් 14 වැනි වියේදීම තමන්ගේ වෘත්තීය දිශානතිය තෝරා ගැනීමට පාසල් දරුවන්ට හැකියාව ලබා දෙනවා. සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය අවසන් කරන සිසුන්ට මේ ව්‍යවසායකත්වය පිළිබඳ හැදෑරීමේ වැඩි උපයෝගිතාවක් පවතිනවා. 6 ශ්‍රේණියේ සිට වෘත්තීය මාර්ගෝපදේශනය දීම මේ පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය ඔස්සේ උදා කරනවා.

උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදු කරන පාසල් තුන්දහසක පළමු වටයේදී ව්‍යවසායකත්ව කව පිහිටුවා මේ විෂයය සම්බන්ධ දැනුම සහ පුහුණුව දීමට ඉදිරියේදී ක්‍රියා කරනවා. රට නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින පසුබිමක ඉදිරියේ දී රටට සතුටුදායක ආරංචි කිහිපයක්ම අසන්නට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. මේ වන විටත් ආනයනය තහනම්ව තිබූ බොහෝ භාණ්ඩ වර්ගවල තහනම ඉවත් කර තිබෙනවා.

නව ලොව විද්‍යා තාක්ෂණ දියුණුවත් සමඟ කිසිදු රටකට අද හුදකලා විය නොහැකියි. රට තුළ නිෂ්පාදනය කර ගත හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරට තුළ නිපදවා ගැනීමට මෙන්ම මෙරට නිපදවන භාණ්ඩ විදේශ වෙළෙඳපොළට උචිත අන්දමින් ගුණාත්මක බවින් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන සේ නිෂ්පාදනය කිරීමට ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා පදනම සැකසෙන්නේ පර්යේෂණ හා නව නිපැයුම් මතයි. ඒ සම්බන්ධව අධ්‍යාපන පද්ධතියෙන් ලැබෙන අනුග්‍රහය තවත් වැඩි කළ යුතුයි.

වර්තමානයේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් බොහෝ පර්යේෂණ බිහිවුවත් ඒවා ප්‍රායෝගිකව භාවිත කළ හැකි මට්ටමට වැඩිදියුණු වීම සිදු වන්නේ නෑ. එම පර්යේෂණ හරහා නවෝත්පාදන බිහි කර දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සරිලන නව නිෂ්පාදන බිහි කිරීමේ අවකාශ උදා වන පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රය නවෝත්පාදන ක්ෂේත්‍රයට සහසම්බන්ධ කළ යුතුයි.

වර්තමානයේ සාම්ප්‍රදායිකව සිදු වන්නේ නව පර්යේෂණ පිළිබඳව උත්සවයක් පවත්වා ත්‍යාගයක් සහ සම්මානයක් දීම පමණයි. එයින් නොනැවතී ඉදිරියේදී නව පරිවර්තනීය අධ්‍යාපන වෙනස්කම් ඔස්සේ එම පර්යේෂණ හරහා නව නිපැයුම් කරා ගමන් කිරීමේ මාවත සකස් කරනවා.

අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ දැනුම, ආකල්ප සහ කුසලතාවෙන් යුතු පුරවැසියකු බිහිකිරීමයි. දැනුම මත පමණක් රැඳී නොසිට කුසලතා සහ ආකල්ප වර්ධනයට පෙර පාසල් අධ්‍යාපනයේ සිටම අවශ්‍ය අඩිතාලම සකස් කිරීම අවශ්‍යයි. ඒ සඳහා යුනෙස්කෝ ආයතනයේ සහයෝගය ඇතිව ජාතික අධ්‍යාපන ආයතනය සහ විද්වතුන් සමඟ එක්ව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත ක්‍රියාවලියේ ආරම්භක පියවරෙහි වැඩ අවසන් කර තිබෙනවා. මේ වැඩසටහන සියලුම පළාත් සමඟ ඒකාබද්ධව නුදුරේදීම පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT