Home » දහම් පාසල් ගුරුවරුන් කරන සත්කාර්ය සමාජයේ යහපැවැත්මට මහඟු සේවයක්

දහම් පාසල් ගුරුවරුන් කරන සත්කාර්ය සමාජයේ යහපැවැත්මට මහඟු සේවයක්

රාජ්‍ය ඇමැති අනූප පස්කුවල්

by mahesh
July 3, 2024 1:00 am 0 comment

මීගහතැන්න සමූහ
මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති පුහුණු සැසියට දහම් පාසල් ගුරුභවතුන් සහභාගීවී සිටි අයුරු

මාසික වැටුපක් හෝ දීමනාවකින් තොරව මේ රටේ දහම් පාසල් ගුරුභවතුන් කරන සත්කාර්ය සමාජයේ යහපැවැත්මට මහඟු සේවයක් බවත්, දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය මුළුමහත් සමාජයේම ගෞරවයට පාත්‍ර විය යුතු බවත් සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමැති අනූප පස්කුවල් මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ මතුගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් ගුරුභවතුන් සඳහා මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති පුහුණු සැසියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“එක්දහස් නවසිය පනස් හයේ සිට මතුගම නියෝජනය කළ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වූ මගේ පියාගේ වැඩිමල් සහෝදරයා වූ දයා ටී. පස්කුවල්, හිටපු ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති, නියෝජ්‍ය කථානායක අනිල් මුණසිංහ මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කළ ජනතා නියෝජිතයන් මතුගම සුරාසල් විවෘත කිරීමට විරුද්ධව කටයුතු කළා.

එම ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙනයමින් මගේ සභාපතිත්වයෙන් මතුගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙන් මතුගම සුරාසල් විවෘත කිරීම තහනම් කරන යෝජනා සම්මත කළා. දහම් පාසල් ඇතුළු පූජනීය ආයතනවලට මම දෙන මූල්‍ය ප්‍රතිපාදන නොව මගේ දැක්ම සහ වැඩපිළිවෙළ දෙස බලා තීන්දු තීරණ ගන්න.

ගෝඨාභය රාජපක්ෂ යුගය ආරම්භ වන විට මතුගම දේශපාලනයේ තිබූ පාතාල සෙවණැලි මගේ පාලන කාලයේදී මම මතුගමින් තුරන් කළා. ජීවිත අවදානම නොතකා සමාජයට හිතකර තීන්දු තීරණ ගැනීමට මම පසුබට වන්නේ නෑ.

දහම් පාසල් ගුරුවරුන් ද ඒ ආකාරයට කටයුතු කළ යුතු යැයි මම සිතනවා. මතුගම ආසනයේ මත්පැන්හල් විවෘත කිරීමට එරෙහිව දිවි පරදුවට තබා කටයුතු කිරීමට මම සූදානම්.”

මේ දහම් ගුරු පුහුණු වැඩමුළුව සඳහා දහම් පාසල් ප්‍රධානාචාර්ය හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද, මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් මධූෂ මහතා ඇතුළු නිලධාරීන් ද, දහම් පාසල් ගුරුභවතුන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT