Home » සිසුවියන්ට-කාන්තාවන්ට අයුතු ලිංගික බලපෑම් කරන හැටන් ඩිපෝවේ කොන්දොස්තරට විරුද්ධව පැමිණිල්ලක්

සිසුවියන්ට-කාන්තාවන්ට අයුතු ලිංගික බලපෑම් කරන හැටන් ඩිපෝවේ කොන්දොස්තරට විරුද්ධව පැමිණිල්ලක්

by mahesh
July 3, 2024 1:00 am 0 comment

ගම්පොළ සුරංග දිල්හාන්

දිනපතා පාසල් හා රැකියා සඳහා යන පාසල් ළමුන් ඇතුළු කාන්තාවන්ට අයුතු ලිංගික බලපෑම් කරන හැටන් ඩිපෝවට අයත් ලංගම බස් රථයක කොන්දොස්තරවරයකුට එරෙහිව ගම්පොළ ප්‍රදේශයේ පියකු දවුලගල පොලිසියට හා ළමාරක්ෂණ අධිකාරියට මෙන්ම හැටන් ඩිපෝ අධිකාරි වරයාටද පැමිණිලි කර තිබේ.

මෙම පියා එම පැමිණිලි වලින් පවසා සිටින්නේ තම දියණිය නාවලපිටියේ පාසලකට යන බවත් උදෑසන මහනුවර සිට හැටන් බලා යන මෙම ලංගම බස් රථයේ ඇය ගමන් ගන්නා බවත්ය.

මෙවර උසස් පෙළ විභාගයට සූදානම්ව සිටින ඇය පාසල් අධ්‍යාපනය සමඟ අමතර විෂය අධ්‍යාපනය හදාරන අතර පාසල් කාලය තුළ ඇය සුදු හා වර්ණ ඇඳුම්ද හැඳ යන බව පැවසේ.

වර්ණ ඇඳුම් හැඳ යන දිනවල මෙම කොන්දොස්තරවරයා දියණිය අසලට පැමිණ සීසන් එකෙන් පාට ඇඳුම් ඇඳගෙන යන්නට නොහැකි බවත් එහෙම එක්ක යන්න නම් ඉඳහිට තමා සමඟ යන්න එන ලෙසත් පවසන බවත් ඇගේ ශරීරය අතපත ගා තද කරන බවත් දියණිය නිවසට පැමිණ පවසන බව මෙම පියා ප්‍රකාශ කර තිබේ.

මේ ආකාරයට ගම්පොළ පොලිසියේ අයකුගේ බිරියට ද මොහු අයුතු බලපෑම් සිදුකොට ඇති අතර තවත් පාසල් ළමුන් හා කාන්තාවන් කිහිප දෙනෙකු මොහුගේ මෙම අඩන්තේට්ටමට ලක්ව ඇති බවද සඳහන් වේ.

වකුගඩු රෝගයටද ගොදුරුව දැඩි අසනීප තත්ත්වයේ සිටින මෙම පියා ඒ පිළිබඳව ද නොතකා සමහර දිනවල මෙම දියණියගේ ආරක්ෂාවට ඇය සමඟ නාවලපිටිය දක්වා යන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ කරුණු සමඟ මෙවර උසස් පෙළ විභාගයට සූදානම්ව සිටින තම දියණිය දැඩි පීඩාවකට ලක්ව ඇති බව පවසන මෙම පියා මේ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් හැටන් ඩිපෝවේ කළමනාකාර අධ්‍යක්ෂ ජානක මහතාගෙන් (සම්පූර්ණ නම කීමට අකමැති විය) විමසීමේදී පවසා සිටියේ පොලිසිය හෝ ළමාරක්ෂණ අධිකාරිය ඔහුගෙන් විමසීමක් කළහොත් විස්තර ලබා දිය හැකි බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT