කොළඹ පාපන්දු ලීගය සංවිධානය කරන පළමු පෙළ පාපන්දු තරගාවලියේ පෙරේදා අවසන් වටයේ තරගයකදී ඕල්ඩ් බෙන්ස් පරදා ජය වාර්තා කළ නිව්ස්ටාර් පිල මේ 16 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයේදී රත්නම් පිල පරදා දඬුවම් පහර 4-3කින් ජයගත් චැලෙන්ජර්ස් ක්‍රීඩා සමාජය සමඟ නිව්ස්ටාර් අවසන් මහා තරග බිමට පිවිසේ.
කොළඹ සිටිලීග් ක්‍රීඩා පිටියේදී පැවැති නිව්ස්ටාර් – ඕල්ඩ් බෙන්ස් අතර තරගයේදී නිව්ස්ටාර් වෙනුවෙන් එම්. අනාස් හා මොහොමඩ් උමර් ගෝලය බැගින් ලබාගත් අතර, මොහොමඩ් සාකි ගෝල් 2ක් වාර්තා කළේය. ඕල්ඩ් බෙන්ස් පිල වෙනුවෙන් එකම ගෝලය එස්. එම්. හුසේන් වාර්තා කළේය.
ශ්‍රී ලංකා පාපන්දු සංගමය විසින් නිර්දේශිත මෙම පළමු පෙළ පාපන්දු තරගාවලිය කොළඹ පාපන්දු ලීගය විසින් වසර 5කට පසුව සංවිධානය කර ඇති අතර, ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කර ඇති ක්රීඩකයින් කිහිපදෙනකුම එක්ව සිටීම විශේෂත්වයකි.