Home » උතුරු නැ‍ඟෙන­හිර බැති­ම­තුන් කත­ර­ගම පාද වන්ද­නාව අර­ඹයි

උතුරු නැ‍ඟෙන­හිර බැති­ම­තුන් කත­ර­ගම පාද වන්ද­නාව අර­ඹයි

by Gayan Abeykoon
July 2, 2024 1:05 am 0 comment

රුහුණු මහා කත­ර­ගම දේවා­ලයේ ඇසළ මංග­ල්‍යය ජූලි 06 වැනි දින සිට ආරම්භ වේ. උතුරු නැ‍ඟෙන­හිර සිට පාද වන්ද­නාවේ පැමි­ණෙන බැති­ම­තුන් මේ වන විට සිය වන්දනා ගමන ආරම්භ කර තිබේ.

පුපුරු ගසන වැලි­ත­ලාව නිසා ඔවුන්ගේ දෙපා­වල යටි පතුල් ගිනි­යම් වේ. වලා­කුළු නොමැති අහ­සින් බිමට පතිත වන හිරු කිරණ හිස ද ගිනි­යම් කර­මින් ඇත. වග වල­සුන් අලි ඇතුන් එහා මෙහා දුව­මින් ඇත. මේ කටුක බව දැනෙන විට දී ‘හරෝ හරා’ කිය­මින් කඳ සුරි­ඳුන් සිහි කළ පම­ණින් සියලු වෙහෙස නිවේ.

මේ අයු­රින් අනේක දුක් කර­දර විඳි­මින් මහා වන මැදින් උතුම් කත­ර­ගම කඳ සුරි­ඳුන් පිදීම සඳහා පැවැ­ත්වෙන ඇසළ මංග­ල්‍ය­යට පාද යාත්‍රාව මඟින් පැමි­ණෙන බැති­ම­තුන් මේ වන විට කත­ර­ගම පුර­ව­ර­යට පැමි­ණීමේ වන්ද­නාව දැන් ආරම්භ කර ඇත. මෙම පාද යාත්‍රාව සඳහා දස දහ­සක් ඉක්මවා බැති­ම­තුන් එක්ව සිටින අතර මෙහි ප්‍රථම කණ්ඩා­යම පෙරේදා (30) ඓති­හා­සික ඔකඳ දේවා­ලය අස­ලින් කුමන ජාතික වන උද්‍යා­න­යට පිවිස ආරම්භ කරනු ලැබීය.

කත­ර­ගම දේවා­ලයේ පෙර­හර මංග­ල්‍යය ලංකාවේ පැවැ­ත්වෙන පැර­ණිම පෙර­හර වන අතර අතී­තයේ මංමා­වත් නොමැති ප්‍රවා­හන පහ­සු­කම් නොමැති යුගයේ කත­ර­ගම වන්දනා සමයේ දී බැති­ම­තුන් පැමි­ණියේ පාද වන්ද­නාව මඟින්ය.

මෙම පාද වන්ද­නාවේ පැමි­ණෙන බැති­ම­තුන් කත­ර­ගම ඇසළ මංග­ල්‍යය සමය වන විට දී මාස තුන­කට පෙර සිට ඒ සඳහා පැහැදී පේවීම සිදු කරති. මස් මාංශ­යෙන් තොරව මළ ගෙව­ල්ව­ලට නොගි­හින් ද අනුන් අඳින ලද ඇඳුම් ඇඳී­මෙන් තොරව සිටී­මෙන්ද ගැහැනු පිරිමි දෙප­ළම පිරි­සි­දුව පේවීම මූලි­කම කට­යු­ත්තයි.

ඇසළ පෙර­හර ළංවී­මට මාස­ය­කට පෙර පිරි­සක් ත්‍රිකු­ණා­ම­ලය යාප­නය මඩ­ක­ල­පුව වැනි ප්‍රදේ­ශ­යෙන් සිය ගමන් අර­ඹන අතර තවත් පිරිස් කණ්ඩා­යම් වශ­යෙන් එක් වී මෙම පාද වන්ද­නාව සඳහා විවිධ ප්‍රදේ­ශ­යන් ඔස්සේ පැමි­ණෙන අතර තවත් පිරි­සක් පානම කුම­නට රථ­ව­ලින් පැමිණ මහා වනය මැදින් දින 10ක් පමණ කාල­යක් දුර කත­රක් ගෙවා කත­ර­ග­මට පැමි­ණෙති.

කත­ර­ගම පෙර­හර මංග­ල්‍යය පැවැ­ත්වෙන පුරා දින 15 පුරාම බැති­ම­තුන් මේ අයු­රින් පාද යාත්‍රාව මඟින් පැමි­ණෙන අතර හරෝ හරා කිය­මින් කුමන ජාතික වන උද්‍යා­න­යට ඇතුළු වී කුඹූ­ක්කන් ඔය, පෙත්තන, යාල අංක 02 මැණික් ගඟ ඔස්සේ යාල අංක 01 කලා­ප­යට පැමිණ කට­ග­මුව ඔස්සේ කත­ර­ගම පුර­ව­ර­යට පැමි­ණීම සිදුවේ.

මේ පැමි­ණෙන ගමනේ දී වැඩි බර දේවල් රැගෙන නොයෙන අතර බොහෝ පිරි­සක් වැව් තුළ ඇති පලා වර්ග හා කර­කොළ එක්කර සිය බත් වේල සකස් කර ගනිති. මෙසේ පැමි­ණෙන බැති­ම­තුන් පරි­ස­රය සමඟ අතී­තයේ දී බැඳී­ම­කින් පැමි­ණි­යත් අද වාර්ත­මා­නයේ දී එය වෙනස් කර ඇත.

මෙම පැමි­ණෙන බැති­ම­තුන්ට මහා වනයේ දී වන සතු­න්ගෙන් පීඩා­වක් නොවන අතර වන සතුන්ද මෙම පාද වන්දනා සමයේ දී මිනි­සුන් මග හැර යනු ලබයි. දින ගණ­නා­වක් දුර කත­රක් ගෙවා කත­ර­ග­මට පැමි­ණෙන බැති­ම­තුන් පූජා භූමියේ ඇති ගස් යටට වී දින 15ක් කඳ සුරි­ඳුන්ට පුද පූජා තබා මැණික් ගඟේ දිය කැපී­මෙන් පසු සිය ගම් බිම් වෙත දිය කැපූ ජල­යද රැගෙන යනු ලබන්නේ ලබන වසරේ දී නැවත පැමි­ණීමේ අටි­යෙනි.

 

කත­ර­ගම සංචා­රක කේ.ඩී. දේව­ප්රිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x