“අපේ ආච්චි සීයා ගහන කතිරයෙන් විනාශ වෙන්නේ අනාගත පරම්පරාවේ ජීවිත. ඒ නිසා හොඳ ජීවිතයක් වෙනුවෙන් මේ පරිවර්තනය අත්පත් කර ගන්න ඕනෙ. ඇත්තටම පඬුරක් ගැටගහනවා වගේ තමයි මේ සැරේ ඡන්දය දෙන්න ඕනෙ” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේදී පැවති ජාතික ජන බලවේගයේ අනුරාධපුර තරුණ රැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“අම්මේ, තාත්තේ, ආච්චි, සීයේ ඔබේ ඇදහිලි පවතින්න ඕනෙ බව අපි විශ්වාස කරනවා. නමුත් අර්බුදය නිර්මාණය වුණේ අපේ රටේ දේශපාලනය විසින්. ඒ නිසා ප්‍රශ්නයට උත්තර හොයා ගැනීමට දේශපාලන වෙනසක් කරමු යැයි ආයාචනා කරනවා.
මෙතැන ඉන්න තරුණ පරම්පරාවට වගේම ඔබේ වැඩිහිටියන්ටත් ඡන්දයක් තියෙනවා. ඡන්ද පෙට්ටියේ තරුණ ඡන්ද වෙනමයි, වැඩිහිටි ඡන්ද වෙනමයි ගණන් කරන්නේ නෑ. ඔබේ ඡන්දයත් ඡන්දයක්. ආච්චිගේ ඡන්දයත් ඡන්දයක්. අපේ වැඩිහිටි පරම්පරාවේ සැලකිය යුතු ප්‍රමාණයක් තාමත් අතීතකාමීත්වයේ හිරවෙලා ඉන්නවා. ඒකෙන් ගැලවෙන්න අදිමදි කරනවා. අනේ ප්‍රේමදාස මහත්තයා ඇවිත් අපේ ඉස්තෝප්පුවේ මේ පුටුවෙනේ වාඩි වුණේ. බණ්ඩාරනායක මහත්තයා මේ ඇඳි පුටුවේ වාඩි වෙලා මම හදලා දීපූ තේ එකකුත් බිව්වානේ කියලා කියනවා. එහෙම නැත්නම් මහින්දසෝම මහත්තයානේ අපේ කොල්ලට රස්සාව දුන්නේ. මේවා දේශපාලන බැඳීම් නෙමෙයි. ඒවා රට ගැන හිතන බැඳීම් නෙමෙයි. අපේ රටේ තියෙනවානේ යුතුකම් සහ මානවවාදී බැඳීම්. අන්න ඒ බැඳීමක් මේ. අපේ වේදිකාවල නාඹර කැකුළු කැකුළියෝ හොඳට පේන්න ඉන්නවා. අනික් වේදිකාවල වැඩිහිටියන්ගේ සංයුතිය ටිකක් වැඩියි. ඒ අය ලෝකයේ තියෙන වෙනස්කම් ගැන, රට මුහුණ දී තියෙන අර්බුදය ගැන, දරුවන්ගේ අනාගතය ගැන නෙමෙයි සාකච්ඡා කරන්නේ. අතීතයේ බැඳීමක් තියෙනවා. මොනවා වුණත් පුතේ තාත්තාගේ ඉඳන් කොළ පාටනේ, මොනවා වුණත් පුතේ පරම්පරාවෙන් පරම්පරාවට අපි නිල් පාටනේ, අපි හොඳ නිල් කණුනේ ඔහොම කියනවා. මේ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න විදිහට ඒ අය හිතන්නේ නෑ, කොල්ලගේ සෙනසුරා හතරවැනි කොටුවේ කියලා හිතනවා. හැබැයි මේ රටේ තරුණ පරම්පරාව මුහුණ දීලා තියෙන බරපතළ ප්‍රශ්නයට එතැනින් උත්තරයක් එයිද කියලා සැකයක් තියෙනවා. නැත්නම් මේ භාර වුණු භාර විල්ලට හරියන්න එපෑ. එහෙම හරියන්නේ නෑ. ඒවා අපේ සම්ප්‍රදායන්. විශ්වාස, ඇදහිලි. ඒවා තමයි සමාජය ඒකමතිකභාවයට ගේන්නේ. හැබැයි ඊට වඩා ආර්ථික අර්බුදයක් තියෙනවා. ඊට වඩා රැකීරක්ෂා උත්පාදනය නොවන අර්බුදයක් තියෙනවා. අපේ දරුවන්ට හරිහමන් ආදායම් මාර්ගයක් නැති අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදයට තියෙන්නේ දේශපාලන උත්තරයක්. ඒ නිසා ඇත්තටම පඬුරක් ගැටගහනවා වගේ තමයි මේ සැරේ ඡන්දය දෙන්න ඕනෙ. හරියට බලලා දෙන්න ඕනෙ. ඒ නිසා අපි වැඩිහිටි පරම්පරාවට ආරාධනා කරනවා. ඒ නිසා ප්‍රශ්නයට උත්තර හොයා ගන්න දේශපාලන වෙනසක් කරමු. තරුණ පරම්පරාව තමන්ගේ වැඩිහිටි පරම්පරාව එක්ක මේ සංවාදය පටන් ගන්න ඕනෙ අද. අපේ ආච්චි සීයා ගහන කතිරයෙන් විනාශ වෙන්නේ අනාගත පරම්පරාවේ ජීවිතය. ඒ නිසා හොඳ ජීවිතයක් වෙනුවෙන් මේ පරිවර්තනය අත්පත් කර ගන්න ඕනෙ.
අපේ රටේ දේශපාලන අධිකාරිය අපේ රටේ තරුණ පරම්පරාවට තිබූ අනාගතය නැති කරලා තියෙන්නේ. හැබැයි ඒ අයගේ දරුවන්ට එහෙම ප්‍රශ්නයක් නෑ. අපේ ගමේ අම්මා තාත්තාගේ දරුවන්ට ඒ ප්රශ්නය තියෙනවා. ඒ ප්රශ්නය විසඳන්න උත්තරයක් හෙව්වේ නෑ, උත්තරයක් හොයන්නත් ඒ අයට ඕනෙ නෑ, ඒ අයට හැමදාම ඕනෙ වුණේ ඡන්ද කාලය එන කොට පෝස්ටර් ගහන්න කොල්ලෝ කෙල්ලෝ. ඡන්ද කාලය එන කොට රස්සාවක් දෙන්නම් කියලා කැන්වසින් යන්න කොල්ලෝ කෙල්ලෝ. ඒ අය කවදාවත් අධ්‍යාපනය දියුණ කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න සැලැස්මක් හැදුවේ නෑ.
කොන්ද තියෙන, හයිය තියෙන, දැනුම තියෙන තරුණයාට ඒ අය බයයි. ඒ නිසා කවදාවත් අලුත් තරුණයෙක් හදන්නේ නෑ, හයිය තියෙන තරුණයෙක් හදන්නේ නෑ, අපි යෝජනා කරන්නේ නව තරුණ පරම්පරාවක්. අපි කරන්නේ මේ දූෂිත ප්‍රභූ පෙළැන්තියෙන් බලය අපේ අතට ගන්නවා. ඒ ගත් බලය අපේ දරුවන්ගේ අතට, අපේ ඥාතීන්ගේ අතට දෙන්නේ නෑ. අපි මේ දූෂිත ප්‍රභූ පෙළැන්තිය අතේ තියෙන බැටන් එක අපේ අතට අරගෙන මේ අපි ඉදිරිපිට ඉන්න නූතන පරම්පරාව අතට දෙන්න ලෑස්තියි. අපේ බැටන් එක මාරු කරන්නේ මේ රටේ නව තරුණ පරම්පරාව අතට. මේ රටේ බලය මාරු කිරීමේ දිශානතියකට ජාතික ජන බලවේගය අඩිය තියනවා. ඒකේ අවස්ථාව තමයි මේ මැතිවරණය. ඒ වෙනුවෙන් මේක ඉතාම තීරණාත්මක මැතිවරණයක්. හුදු කතිරයක් ගහන, හුදු ආණ්ඩුවක් පලවා හරින, හුදු නායකයෙක් පත් කරන මැතිවරණයක් නෙමෙයි මේ එන්නේ. මේ රට පරිවර්තනය කරන යුගයක්. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු.”