ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න වුණොත් ඒ සඳහා ශක්තිමත් අපේක්ෂකයෙක් හෝ සංවිධාන ශක්තියක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (30) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“කළ යුත්තේ සියලුම දෙනා එකට එක්ව සංවිධානය වී මැද මාවතේ යන කෙනකුට සහයෝගය දැක්වීම හෝ නිසි ලෙස සංවිධානය වී ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමයි. නමුත් අද තනතුරු අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කෑලිවලට කැඩී අවසන්. සාමාජිකයන් වේගයෙන් පක්ෂය හැර යමින් සිටිනවා.
එදා බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන්නේ එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තියෙන කාලෙමයි. සම සමාජ කොමියුනිස්ට් පක්ෂ තියෙද්දිමයි. ඒ මැද මාවතේ යන නිර්මල අදහසක් ඇතුවයි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණේ. ඒ මැද මාවත මේ රටේ ජනතාව වේගයෙන් වැලඳ ගත්තා. නමුත් අද ඒ නිර්මල පක්ෂය අන්ත දක්ෂිණාංශික අලියා ලකුණෙන් එජාපයට හේත්තු වුණොත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික සිද්ධාන්තයට විරුද්ධයි. අද වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ විජයදාස රාජපක්ෂ මහතා එතැනට කඩා පැනීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට තුනට කැඩී මුළුමනින්ම විනාශ වුණා.
ඒක විශාල අපරාධයක්. විජයදාස රාජපක්ෂ අවුරුදු 15ක් විතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව කටයුතු කර තනතුරු ලෝභය නිසා මේකට කඩා පැන්නා. ඔහු කවුරුත් පිළිගන්නේ නෑ, ඔහු ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ. ශ්‍රී ලංකාකාරයෝ කිසි කෙනකු ඔහුට වැඩ කරන්නේ නෑ, ඒක විහිළුවක් වෙලා. නිමල් සිරිපාල ද සිල්වා සහ ඇමැතිකම් ගත් පිරිස එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම වෙනුවට තමන්ගේ තනතුරු, වරදාන, වරප්‍රසාද රැක ගැනීමට කටයුතු කරනවා.”