ඉදිරියේදී කුමන හෝ මැතිවරණයක් පවත්වා ජනතා තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් වත්මන් ආණ්ඩුවට වැටෙන්න ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා (29) අගලවත්තේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අගලවත්ත ආසන සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“අපි දේශපාලන පක්ෂයක් විදියට විශාල ජයග්‍රහණ ලබා තිබෙනවා. අපි හැම අවස්ථාවකම මේ රටට ගැළපෙන සහ රට ගැන හිතා දේශපාලන තීන්දු තීරණ ගත් දේශපාලන බලවේගයක්. අපි අභියෝගවලට මුහුණදී තිබෙනවා. 2005දී මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන විට එතෙක් පැමිණි හැම දේශපාලන පක්ෂයක්ම බලයට ආවේ සාමය ගේන්නයි, සාමය ඇති කරන්නයි, යුද්ධය අවසන් කරන්නයි කියලා. නමුත් එය කරගන්න බැරි වුණා. සමහර දේශපාලන පක්ෂ යුද්ධය වවාගෙන කෑවා. මොකද ඒ අයගේ පැවැත්ම තිබුණේ යුද්ධය තිබෙන තාක්කල් කියන එකයි විශ්වාස කළේ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ අභියෝගයට මුහුණ දුන්නා. අපි ජයග්‍රහණය කළා. මේ රට දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට පත්වෙලා තිබුණා. මායිම් ගම්මානවල ජීවත්වූ ජනතාවක් සිටියා. නමුත් එදා මහින්ද රාජපක්ෂ යුගයේ ග්‍රාමීය ආර්ථිකය නංවාලන්න ගම හදන සටනට නායකත්වය දුන්නා. ගමේ පාර හැදුවා. ඇළ වේලි හැදුණා. කෘෂිකර්මාන්තය දියුණු වුණා.
ගම්මාන දුප්පත් ගම් ලෙස හඳුන්වාදී තිබුණේ. වතුපිටි තිබූ කිහිප දෙනෙක් හිටියා. නමුත් විදුලිය නොමැති, යටිතල පහසුකම් නොමැති ගම්මාන තමයි තිබුණේ. මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් කරන්න අපේ ආණ්ඩුවට හැකියාව ලැබුණා. අපව පරාජය කරන්න කටයුතු කළා. අපව පරාජය කළේ අපව බෙදලා. අපේ පක්ෂය එදා දෙකට කැඩුවා. බටහිර වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වුණා කියන එක පිළිබඳව අමුතුවෙන් මතක් කළ යුතු නෑ. ඒ බෙදුවේ ඔබ අපි නියෝජනය කළ දේශපාලන කඳවුරයි. ඒ තමයි මේ රටට ආදරය කරන දේශපාලන කඳවුර. වාමාංශික දේශපාලන කඳවුර. මේ රටේ ආගම දහම නිරන්තරයෙන් රකින්න කටයුතු කළ දේශපාලන කඳවුර. ඒ බෙදීමත් සමඟ අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න පටන් ගත්තා. නවීකරණය වෙනුවට බටහිරකරණය වෙන්න පටන් ගත්තා. ඒ තුළ අපට ආර්ථික වර්ධනයක් ඇති වුණෙත් නෑ. සමාජ වශයෙන් පිරිහුණා. අනෙක් පැත්තෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වුණා. ත්‍රස්ත බියක් නොමැතිව තිබූ රටේ තමන්ගේ දරුවා වෙනුවෙන් පාසල රකින්න අම්මට තාත්තට යන්න සිදු වුණා.
2019දී ගෝඨාභය රාජපක්ෂ මහතා භාර ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා භාර දුන් රට නොවෙයි. වැටුණු රටක් භාර ගන්න වුණේ. ඒ භාර ගත් රටට අපි නොසිතූ විදියට කොවිඩ් වසංගතය ආවා. ඒ අභියෝගයටත් අපි මුහුණ දුන්නා. ජීවිත බේරා ගත්තා. යහපාලන ආණ්ඩුවෙන් සාම්පූර් බලාගාරයත්, උමා ඔයත් වෙලාවට අවසන් කර තිබුණා නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට විදුලිබල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වන්නේ නෑ. විදුලි උත්පාදනයක් කළේ නෑ. නමුත් අවසානයේ ඒක කඩා වැටුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇඟ උඩට. හැබැයි අරගල කළා. දේශපාලනික වශයෙන් කෙතරම් වෙනස් ප්‍රතිපත්ති තිබුණත් රාජය ආරක්ෂා කිරීම සඳහා තීන්දුව ගත්තා. ඒ වගේම තමයි අපි ඒ ආණ්ඩුව වැටෙන්න දුන්නේ නෑ. මැතිවරණයක් පවත්වා තීන්දුවක් ගන්න තෙක් වැටෙන්න දෙන්නේ නෑ.
ඒක ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය හෝ ගනු ලබන දේශපාලන තීන්දුවක් මත තීරණය කරන්න පුළුවන්. ඉදිරියේ අපි හදන ආණ්ඩුවක් තුළ මෙ රටේ ග්‍රාමීය ආර්ථිකය තුළ ගොවියා, ධීවරයා, කම්කරුවා ආරක්ෂා කරන්න ඕනෙ. රාජ්‍ය සේවකයාට නිසි ගෞරවය දිය යුතුයි. ගෞරවාන්විත සේවාවක් බවට පත්කළ යුතුයි. ඒකට තාක්ෂණය බද්ධ කොට රාජ්‍ය සේවකයා වගේම ජනතාවට සේවා ගැනීම පහසු කළ යුතුයි. ඒ තුළ පමණයි මේ රටේ රාජ්‍ය යන්ත්‍රණය සක්‍රිය කළ හැක්කේ. රාජ්‍ය යන්ත්‍රණය සක්‍රිය කළ හැකි එකම ක්‍රමය තමයි රාජ්‍ය යන්ත්‍රණය සමඟ තාක්ෂණය බද්ධ කිරීම. ඒ තුළ පමණයි අපි අපේක්ෂා කරන සංවර්ධනයක් ළඟා කර ගත හැක්කේ. අපේ වැඩිහිටියන් අපේක්ෂා කරන්නේ තමන්ගේ දරුවන්ට හොඳ ජීවිතයක්. ඔවුන්ගේ අධ්‍යාපනයට, පුහුණුවට, හැකියාවට සරිලන රැකියාවක්. තරුණයන් අපේක්ෂා කරන්නේ තමන්ගේ දහදිය, මහන්සියට සරිලන ආදායමක්. ඒ දහදිය මහන්සියට සරිලන ආදායමක් උත්පාදනය කරන ආර්ථිකයක් රටේ හැදෙනවා. එය හදන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ළඟ තිබෙනවා.
එය පාරම්පරික, ගතානුගතික ක්‍රමවලට පමණක් සීමා වෙලා කරන්න බෑ. අපි නවීකරණය වෙන්න ඕනෙ. අපි නූතන ලෝකය සමඟ බද්ධ විය යුතුයි. නවීකරණය යනු බටහිරකරණය නොවෙයි. මේ රටේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන ගමන් විදේශ ආයෝජන හරහා ඒවා දියුණු කළ යුතුයි. ඒ තුළ නව ආයෝජකයන් ආකර්ෂණය කොට රැකියා උත්පාදනය කළ හැකි වැඩපිළිවෙළක් අපි සතුව තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ හැමදාම මේ රටේ ජනතාව සහ රට ගැන සිතා තීන්දු තීරණ ගන්න පක්ෂයක්. අපට හොරා කිවුවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ කිවුවා, රාජපක්ෂවරුන් අයුතු ලෙස මුදල් උපයා ගත් කිසිදු ගිණුමක් ලෝකයේ කිසිදු රටක තිබෙනවා කියා සනාථ කරගන්න කිසිදු සාක්ෂියක් හෝ පරීක්ෂණවලින් හෝ ඔප්පුවී නෑ කියලා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වුණා. අපට විවිධ මඩ ගැසුවා. අපේ ආණ්ඩුව වට්ටන්න එක් සටන් පාඨයක් වුණේ රතුපස්වල සිද්ධිය. ඒකට සම්බන්ධ රණවිරුවන් හිරේ දැම්මා. ඒ අය අධිකරණය ඉදිරියේ නිදොස් කොට නිදහස් වුණා.
හැමදෙයක්ම දේශපාලනික වශයෙන් තමන්ට වාසි අත්කර ගන්න සමහර දේශපාලන පක්ෂ මේ රටේ රාජ්‍ය යන්ත්‍රණය වගේම තරුණ පරම්පරාව මෙහෙයවන්න උත්සාහ කරනවා. අපි අරගලයෙන් දැක්කේ ඒ දෙයයි. ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් යළි ඉදිරියට නොයයි කියා ඔවුන් සිතුවා. නමුත් අපේ මන්ත්‍රීවරුන් දේශපාලනික වශයෙන් තවත් ශක්තිමත් වෙලා ඒකරාශි වුණා. මේක තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තිබෙන ශක්තිය. ඇතැම් විට බොහෝ අය තවමත් දෙගිඩියාවෙන් ඉන්නවා ඇති. අපි වැරැදි හදාගෙන නව ගමනක් යමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට කටයුතු කරමු.”
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා
“පාසල් යන කාලයේ මේ ආසන්නයේ පැවැති තුරුණු ශක්ති සංගීත ප්‍රසංගයට නිවේදකයෙක් හැටියට එදා මම තරගයට ආවා. එදා මම අගලවත්තට පැමිණ කියූ දෙයින් කොටසක් මට මතකයි. මේ අගලවත්තේ ඉන්නේ උපන් බිමට ණය නැති සම්භාවනීය මිනිස්සු පිරිසක්. දැඩි රළු කළු ගලක සියුම් කැටයමක් නිර්මාණය කරනවා වගේ තමන්ගේ ජීවිතය ගොඩනඟමින් අපට රබර් කිරි වගේම නෙළන තේ දල්ලෙන් ජාතික ආර්ථිකයට ශක්තිය දෙන ආදරණීය අගලවත්තේ සිට මම අද කතා කරනවා. දෛවයේ සරදමකට වගේ මම මේ අගලවත්ත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් අද කතා කරනවා. මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කළ හැකි බොහෝ දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉටුකර තිබෙනවා. හොරවල හංදියෙන් මීගහතැන්නට යන්න පාරක් තිබුණේ නෑ. ඇලවත්තෙන් නෙළුවට යන්න තිබුණේ කන්දක් විතරයි. මේ පාරවල් තිබුණේ නෑ.
මිහිදු විද්‍යාලයේ සිට හොරපිටියට යනකල් මෙරිල් කාරියවසම් පාසලට යනකල් මේ පාසල් ටික හැදුවේ මහින්ද රාජපක්ෂ මහතා. මේ හැම මිනිසකුටම සතුටින් සැනසිල්ලෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හැදුවේ මහින්ද රාජපක්ෂ. රබර්වලට ආර්ථිකයක් හැදුවේ මහින්ද රාජපක්ෂ. තේවලට මිලක් හැදුවේ මහින්ද රාජපක්ෂ. අපට අපේ කියලා රටක් නිර්මාණය කර දුන්නේ ආදරණීය මහින්ද ජනාධිපතිවරයා. ඒක තමයි ඇත්ත. ඊළඟ ඕනෑම ඡන්දයකට පක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් වෙනුවෙන් මේ ජනතාව වෙනුවෙන් මේ අගලවත්ත සංජීව එදිරිමාන්න දිනවනවා. ඒ වෙනුවෙන් අපි යන ගමනට අලුත් හයයක් අද දෙනවා. මේ අගලවත්තේ විසල්ම ජන හමුවක් අද මේ තිබෙන්නේ.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.