රුසියාවේ උපත ලද ඉතාන් ඉතා කීකරු සුරතල් මෙන්ම දඟකාර සුනඛ පැටියෙකි. පුංචි කාලෙදිම ශ්‍රී ලංකාවට පැමිණි මේ පුංචි බලු සුරතලා තමන්ගේ හිමිකරු සමඟ එක්ව පසුගියදා මහත් ඵල මහත් ආනිසංශ ලබා දෙන පින්කම් රැසකට මේ වන විට දායකත්වය දක්වා තිබේ. ඉතාන්ගේ හිමිකරු වන රසාංග සිල්වා ළඟ මෙවැනි සුරතලුන් රැසක් සිටින අතර ඔහු අමතන්නේ පුතා, දෝණි ආදී නම්වලිනි. මේ පුංචි ඉතාන් බලු පැංචා විවිධ ෆොටෝ ෂූට්වලට පෙනී සිටීමට ද දක්වන්නේ ඉතාම කැමැත්තකි. මේ සම්බන්ධයෙන් ඉතාන්ගේ හිමිකරුගෙන් අප කළ විමසීමකදී ඉතාන් ගැන කියන්නට ඉදිරිපත් වුණේ ඉතාමත් සතුටිනි.
‘ඇත්තටම මම ඉතාන් ඇතුළු මා ගාව හදන සුරතල් ඩොගීලාට පුතා දෝණි කියන නමින් තමයි කතා කරන්නෙ. 2021 වසරේ 15දා රුසියාවේදී ඉපදුණු ඉතාන් 2021 මැයි 28 වෙනිදා ලංකාවට එනකොට එයාට මාස හතරයි. එදා ඉඳලම ඉතාන් අපේ රටේ දේශගුණයට ඔරොත්තු දෙන විදියට නිරෝගීව ලස්සනට හැදුණා. හැබැයි ඒ වෙනුවෙන් මට ගොඩාක් අවධානය දෙන්න වුණා. ඒත් දැන් ඉතාන් ලෝකේ පුරාම ජනතාවගේ ආදරය දිනා ගත්ත හුරතල් බව් පැංචෙක් වීම මට හරිම සතුටක්. ඉතාන් ෆොටෝ ගන්න වගේම ෆ්‍රී ෂූට්වලට පෙනී ඉන්නත් හරිම ආසයි. එයාගෙ ලස්සන නිසාම සමහර මනාල මනාළියන් මංගල දිනයට කලින් ගන්න සේයාරූවලට ඉතාන්ව සහභාගි කර ගන්නවා. ඒ වෙනුවෙන් එයාලගෙ කැමැත්තෙන් ඉතාන්ට අවශ්‍ය කළමනා ගන්නත් මුදල් දෙනවා. ඉතාන්ගෙ කෑම බීම බෙහෙත් එයාගෙ ලස්සන දිගු ලෝම නොවැටී ආරක්ෂා කරන ෂැම්පු වර්ග එහෙම ගොඩාක් මිල අධිකයි.
මෑත දවසක ආණමඩුව ප්‍රදේශයේ ආබාධිත කාන්තාවක් දෙපාවල ආබාධයක් නිසා ඇවිද ගන්න බැරිව රෝද පුටුවක් ඉල්ලලා සමාජ මාධ්‍යයක දැන්වීමක් පළ කරලා තිබුණා. ඉතාන් සහභාගි වුණු ෆ්‍රී ෂූට්වලින් ලැබුණු මුදල්වලින් මම 43,000ක් දීලා හොඳම වර්ගයේ රෝද පුටුවක් මිල දී ගෙන ඒ අසරණ මාතාවට යැව්වා.
ඒ වගේම ඇස් කණ්ණාඩි පහකුත් ඇස් පෙනීමේ දුර්වලතා තියෙන අයට පරිත්‍යාග කළා. සුනඛයෙක් වෙලා ඉපදුනත් ඉතාන්ට ඉතාම උසස් ගුණාංග පිහිටලා තියෙනවා. මේ පින්කම කරලා මම ප්‍රාර්ථනා කළේ මතු භවයක ඉතාන්ට හොඳ ගුණයහපත්කම්වලින් පිරුණු මනුස්සයෙක් වශයෙන් ඉපදෙන්න කියලා.
මීට කලින් ලෝකේ විවිධ රටවල මේ වගේ සුරතල් ලස්සන බලු සුරතලුන් පිළිබඳ වාර්තා වුණා. දැන් අපේ ඉතාන්ටත් ඒ වගේ ආදරයක් ලැබෙනවා. ඒකට තවත් හේතුවක් වූ සිද්ධියක් තමයි මේ රෝදපුටු පරිත්‍යාගය යැයි රසාංග සිල්වා මහතා තමන් දරුවකුට සේ ආදරය කරමින් හදාවඩා ගත් පුංචි ඉතාන්ගේ ජයග්‍රහණ ගැන කතා කරමින් පැවැසීය.