Friday, July 5, 2024
Home » සබන් කැටයෙන් පටන් ගත් මහවත්ත මහා විද්‍යාලය

සබන් කැටයෙන් පටන් ගත් මහවත්ත මහා විද්‍යාලය

ව්‍යවසායකත්ව පරපුරක් උදෙසා

by Gayan Abeykoon
July 2, 2024 2:00 am 0 comment

ර්තමානය වන විට අප රටට බොහෝ නිෂ්පාදන ආනයන කිරීමේ ගැටලුවලට මුහුණදීමට සිදුවෙමින් පවතී. එයට මූලිකම හේතුව වී ඇත්තේ නිෂ්පාදන හිඟතාවයයි. නිෂ්පාදනයන් යහමින් සිදුවීමට නම් ඒ වෙනුවෙන් මූලිකත්වය ගන්නා වූ පිරිමි සිටිය යුතුය. සරලවම කියන්නේනම් මනා ව්‍යවසායකයන් සිටිය යුතුය. එසේ අප රටේ ආර්ථිකයට සරිලන ව්‍යවසායකයන් නොසිටිය හොත් අප රටට සිදුවන්නේ සැමදාමත් ආනයනයන් මත රැඳී සිටීමටය. ව්‍යවසායකයන් බිහි නොකළහොත් කෙදිනකවත් අප රටට අපනයන ආර්ථිකයක් ගොඩනැඟීමේ හැකියාව ලැබෙන්නේද නැත. එය අනාගතයේ රටක් වශයෙන් අපට මුහුණපාන්නට සිදුවන බරපතළ ගැටලුවකි.

රටක් දියුණුවීමට නම් එහි අනිවාර්ය ලක්ෂණ අතරට එක්විය යුතු එක් සාධකයක් වන්නේ ව්‍යවසායකයාය. එහෙත් අවාසනාවට මෙන් සංවර්ධනය

විෂය භාර ගුරුතුමිය කමන්ති කුමසාරු

විෂය භාර ගුරුතුමිය කමන්ති කුමසාරු

වෙමින් පවතින රටක් ලෙසින් ශ්‍රී ලංකාවට හිඟතාවයකින් යුතු සම්පතක් වන්නේද ව්‍යවසායකයාය.  නිදහසින් පසු මේ තාක් දුරට පැමිණි කාලය ගතහොත්, රටක් ලෙසින් තම සම්පත් උපයෝගී කරනොගෙන සංවර්ධිත මට්ටමේ ඉහළ අගයක් කරා යෑමට නොහැකි වී ඇති ප්‍රධාන කාරණා අතුරින් එකක් වන්නේද මෙම ව්‍යවසායකයාගේ හිඟකමයි.  මේ හේතුව නිසාම කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය එක්ව දීප ව්‍යාප්තව පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. සැබැවින්ම පැවසුවහොත් මෙහි මූලික අරමුණ වන්නේ අනාගතය උදෙසා පාසල්  තුළින්ම ව්‍යවසායකයන් බිහි කිරීමේ පුහුණු ක්‍රියාවලියයි.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා පාසල් 430කට පමණ ආසන්න සංඛ්‍යාවක් ආවරණය කර තිබෙන අතර මෙය ආරම්භ කිරීමට පෙර සෑම පාසලකම ගුරුභවතුන් උදෙසා පුහුණු කටයුත්තක් පවා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය කටයුත කර තිබිණි.  මේ මොහොත වන විට රටේ ශ්‍රම බළකායෙන් 2.8%ක පමණ ප්‍රතිශතයක් මෙරට ව්‍යවසායන් ලෙසින් ඉදිරිපත්ව සිටින මුත් මෙම වැඩපිළිවෙළෙහි එක් ඉලක්කයක් වන්නේ අනාගතයේදී එම ප්‍රතිශතය 10% දක්වා රැගෙන ඒමයි.

සැනිටයිසර් සහ සබන් නිෂ්පාදන

සැනිටයිසර් සහ සබන් නිෂ්පාදන

ශ්‍රී ලංකාව පුරා දියත්වන මෙම වැඩපිළිවෙළෙහි එක් වැඩසටහනක් ක්‍රියාත්මක   වූ පාසලක් වන්නේ මහනුවර මහවත්ත විද්‍යාලයයි.  මහවත්ත මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසින් ඒ.ඒ.කේ. එදිරිසිංහ මහතා කටයුතු කරන අතර විෂය භාර ගුරුවරිය ලෙසින් කටයුතු කරන්නේ කමන්ති කුමසාරි මහත්මියයි. මහවත්ත මහ විදුහලේ ව්‍යවසායකත්ව වැඩසටහන පිළිබඳව ගුරුමහත්මිය පවසන්නේ මෙවැන්නකි.

අපේ විද්‍යා‍ෙලට කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ අධ්‍යාපණ අමාත්‍යාංශය එක්වෙලා ව්‍යවසායකත්ව වැඩසටහන හඳුන්වල දීලා දැනට  අවුරුද්දක් විතර වෙනවා. 2023 වසරේදී මධ්‍යම පළාතේ පමණක් නොවෙයි බොහෝ ප්‍රදේශවල ගුරුභවතුන්ට සම්මන්ත්‍රණයක් තිබුණා. එයින් පැහැදිලිවම ඔවුන් අපට එක් කරුණක් පෙන්වලා දුන්නා.  ඔවුන් කිව්වේ පාසල් කාලය අවසන් වීමෙන් පස්සේ ඔවුන් තමන්ට කවර හෝ දිනෙක රැකියාවක් ලැබේයැයි කියා බලාපොරොත්තුවෙන් සිටිනවා විනා තමන්ගේම ව්‍යාපාරයක් හෝ කරන්න සූදානමක් නෑ කියලා. එයට පිළිතුරක් විදිහට තමයි මේ ව්‍යවසායකත්ව වැඩසටහන ඔවුන් පාසල්වලට හඳුන්වා දුන්නේ. මේ සම්මන්ත්‍රණයෙන් පැමිණ ඉන්න බොහේ ගුරුභවතුන්ට  මේ පිළිබඳව දැනුම්වත් වීම් බොහොමයක් සිදුවුණා.

බතික් සාරි නිෂ්්පාදනය

බතික් සාරි නිෂ්්පාදනය

අපේ පාසල මහවත්ත මහ විදුහල මහනුවර නගරේ ඉඳන් 10kmක පමණ දුරකින් තමයි මේ පාසල පිහිටලා තියෙන්නේ. අනිත් පාසල්වල වගේ ගොඩක් සිසු පිරිසක්  නැතිවුණත් දක්ෂතාවයන් අතින් ඉදිරියෙන්ම සිටින පිරිසක් අපේ පාසලේ ඉන්නවා. සංඛ්‍යාත්මකව කිව්වොත් 360ක වගේ පිරිසක් තමයි ඉන්නෙ. කොහොම වුණත් ව්‍යවසායකත්ව වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙනකොට අපට ප්‍රාග්ධනයක් තිබුණෙ නෑ. ඒකට පිළිතුරක් විදිහට ගුරුවරුන් එකතුවෙලා අයිස්ක්‍රීම් ගෙනල්ලා, සුළු ලාභයක් තියාගෙන ඒවා පාසලේ දරුවන්ට වගේම ගුරුවරුන්ටත් අලෙවි කළා.  එයින් තමයි අපේ නිෂ්පාදන කරන්න අපි ප්‍රාග්ධනය හොයාගත්තේ.

ආචාර්ය මණ්ඩලය

ආචාර්ය මණ්ඩලය

ඉන්පස්සේ අපි මුලින්ම සබන් නිෂ්පාදනය කළා. ඒ අතරම සැනිටයිසර් නිෂ්පාදනයක් ආරම්භ කළා. ඒවා සාර්ථකව  නිෂ්පාදනය කළත් අපි බාහිර වෙළෙඳපොළක්  හා සම්බන්ධ වුණේ නෑ.  ඒ නිෂ්පාදන පාසල තුළම, දරුවන් වගේම ගුරුභවතුන් අතරත් අලෙවි කළා. එයින් අපි හොඳ ආදායමක් ලබාගත්තා.

මේ වෙනකොට හොඳ වෙළෙඳ පොළක් සහිතව සිදුකෙරෙන කටයුත්තක් තමයි බතික් සාරි නිර්මාණය. එය අපේ ගුරුවරයන් අතරත් ඉතා ජනප්‍රියයි. මේ වෙනකොට එයටත් හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම ඉන් ලැබෙන ආදායමත් යහපත්  මේ නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් 10, 11, 12, 13 පන්තිවල සිසු සිසුවියන් එක්කර ගත්තත් පුහුණු වැඩසටහන්වලදී හයේ පන්තියේ ඉඳන්  ළමයින් අපි සම්බන්ධ කරගන්නවා. මේ  ව්‍යවසායකත්ව වැඩසටහන් එක්ක එකතුවෙලා ඉන්න දරුවන් මේ වෙනකොට බොහොම උනන්දුවෙන් මේ කටයුත්තට සහයෝගය දක්වනවා.  ගුරුභවතුන් හැමෝගෙම සහයෝගයෙන් තමයි අපි මේ කටයුත්ත කරන්නෙ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පාසල් එක්කර ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය එක්ව සිදුකරන මෙම වැඩසටහන බෙහෙවින් අගය කළ යුතුය.

රජිත බස්නායක

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x