දේශපාලකයන් සම්බන්ධයෙන් සලකා බලනවිට ප්‍රධාන මතවාද කිහිපයක් අප අතර පවතී. එනම්;
- දේශපාලකයා ප්‍රතිපත්තිගරුක සාධාරණ පුද්ගලයකු විය යුතුය.
- දේශපාලකයා සම්භාවනීය පුද්ගලයකු නොව; ප්‍රායෝගික මිනිසකු විය යුතුය.
- දේශපාලකයා හැමවිටම තම ජන කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඔවුන් උදෙසා සටන් වැදිය යුතුය.
- දේශපාලකයා හැමවිටම නීතියට ගරු කළ යුතුය. සමාජ සාධාරණත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුය.
සාර්ථක හා පිළිගත හැකි දේශපාලකයකු සඳහා ඉහත සුදුසුකම් හතර පැවැතිය යුතු යැයි විශ්වාසයක් සමාජය තුළ පවතී. මීට අමතරව ඔහු හෝ ඇය හෝ නොපසුබට උත්සාහයෙන් සමන්විත එඩිතර තැනැත්තකු විය යුතු බවද බොහෝ දෙනා පිළිගනිති. මේ සියල්ල නිරීක්ෂණය කරන කල අපට වැටහී යන සත්‍යයක් වන්නේ ආර්. සම්බන්ධන් මහතා යථෝක්ත සුදුසුකම් සියල්ලක් සපිරූ වාසනාවන්ත දේශපාලකයකු බවය. ඔහු වයස අවුරුදු අනූ එකක්(91) වනතුරුම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය.
උතුරු නැඟෙනහිර දේශපාලකයන් අතර සිටි පරිණතම දේශපාලකයා සම්බන්ධන් මහතා යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. ඔහු වෘත්තියෙන් නීතිඥයෙකි. 1970 ගණන්වල දී දේශපාලනයට පිවිසි අතර අඛණ්ඩව දේශපාලනයෙහි රැඳුණේය. උතුරු – නැඟෙනහිර දේශපාලන ගැටලු හා ආර්ථික ප්‍රශ්න හොඳින් වටහාගෙන සිටි ඔහු ඒවාට ස්ථිරසාර විසඳුම් සෙවීම සඳහා අරගලයක නිරතව සිටියේය.

රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ සමඟ
සම්බන්ධන් මහතා නිරන්තරයෙන්ම තම ජාතිය, ආගම හා සංස්කෘතිය උදෙසා හඬක් බවට පත්විය. ව්‍යාජ දේශපාලනයක යෙදෙමින් බලයට පත්වන ආණ්ඩුවල නායකයන්ගෙන් පෞද්ගලික වාසි ලබා ගන්නවා වෙනුවට පාර්ලිමේන්තුව තුළ තම ජනතාව වෙනුවෙන් හඬක් නැංවීම නිසා ඇතැම්විට ඔහු ජාතිවාදියකු ලෙස හැඳින්විණි. එහෙත් සම්බන්ධන් මහතා විවේචනවලට බිය වී තම මතවාද අත්හළේ නැත. ඔහු හැමවිටම තම මතවාදය වෙනුවෙන් සටන් කළේය. තනිවම හෝ සටන් කළේය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාව සම්බන්ධන් මහතාට ගරු කළහ. ඔහු සාම්ප්‍රදායික දේශපාලකයකුට එහා ගිය ජනතා මිතුරෙක් ද විය. ඒ අනුව තරුණ කණ්ඩායම් වුව සම්බන්ධන් මහතා අත්හළේ නැත. ඔහුගේ ඡන්ද ප්‍රතිශතය මැතිවරණයෙන් – මැතිවරණයට ඉහළ ගොස් ඇති බව සමීක්ෂණ වාර්තාවලින් දැකගත හැකිය.
ආර්. සම්බන්ධන් මහතා හැමවිට ම ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටි සමාජ සාධාරණත්වය උදෙසා සටන් වැදුණු නායකයෙකි. උතුරු – නැඟෙනහිරට ඡන්දය ඉල්ලීමෙන් ඉවත්වන්නැ’යි නොයෙක් වර එල්.ටී.ටී.ඊ. සංවිධානය තර්ජනය කළ ද, සම්බන්ධන් මහතා ඡන්දයට ඉදිරිපත් වීම මඟහැරියේ නැත. ඔහු දෙමළ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ගැන ඉන්දියාව සමඟ සංවාද ඇතිකර ගත්තේ වුව ත්රස්තවාදයට උපකාර කිරීම ගැන ඉන්දියාව සමඟ කතා කළේ නැත. දෙමළ ජනයාගේ ගැටලු විසඳාගැනීම සඳහා ප්රජාතන්ත්රවාදයම භාවිත කළ යුතු බව ඔහුගේ විශ්වාසය වන්නට ඇත.
1980 ගණන්වල සිට ලෝක දේශපාලන කරළියේ සංවාදයට ලක් වූ ප්‍රධාන කාරණයක් වූයේ නව ප්රජාතන්ත්රවාදය ලෝක විප්ලවයක් වන බවය. එහි යටි අර්ථය වන්නේ නූතන පරම්පරාව සැබෑ ප්රජාතන්ත්රවාදය ඉල්ලා සිටින බව ය. නූතන දේශපාලකයෝ දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව හෝ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටිති. ඒ වෙනුවෙන් සටන් වදිති. එය කැපී පෙනෙන දේශපාලන ප්‍රවණතාවක් ලෙස පවතී. ආර්. සම්බන්ධන් මහතා ද එම ප්රවාහයට එක්වූ දේශපාලකයෙකි. වෙනසකට ඇත්තේ ඔහු මේ පිළිබඳ අවදියකින් කටයුතු කිරීම පමණි.
රාජවරෝදියම් සම්බන්ධන් මහතා 1977 සිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය. ඔහු කෙටි කාලයක් විපක්ෂ නායක තනතුර ද දැරුවේ ය. විපක්ෂ නායකවරයකු වශයෙන් ඔහු ඉටු කර ඇති කාර්යභාරය ද සුළුපටු නැත. සම්බන්ධන් මහතා හැමවිටම වගකීමකින් ක්‍රියා කර ඇත. ඔහු නායකත්වයට ගැළපෙන තැනැත්තෙකි.
දේශපාලකයකු වශයෙන් සම්බන්ධන් මහතා සතු වූ අනන්‍ය ලක්ෂණ කිහිපයක් ද ඇත. මේ මොහොතේ එය සිහිපත් කිරීම වැදගත් ය.
- I. අදීන පුද්ගලයකු ලෙස නායකත්ව භූමිකාවක් පවත්වාගැනීම.
- මනා පෞරුෂයකින් යුතුව තම දේශපාලන චරිතය ගොඩනඟා ගැනීම.
III.ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කිරීම.
- IV. තමන්ගේ මතය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කිරීම හා අපරාජිත වීම.
නැඟෙනහිර දෙමළ කතා කරන ජනතාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළේ වුව කොළඹ සිංහල සමාජය තුළ ද, අන්තර්ජාතික සමාජය තුළ ද, සම්බන්ධන් මහතාට ඉහළම පිළිගැනීමක් තිබිණි. විදේශ තානාපති කාර්යාලවල පැවැත්වෙන විවිධ උත්සවවලදී ද, සම්බන්ධන් මහතා නිතර දැකගත හැකි විය.
වේට්ටියකින් හා සරල උඩුකබායකින් සමන්විතව සාටකයක් ද පැලඳගෙන පාර්ලිමේන්තුවට පැමිණි ආර්. සම්බන්ධන් මහතා මින්පසු අපට දැකගත නොහැකි වනු ඇත. එහෙත් ඔහු ඉටුකළ ඓතිහාසික කාර්යභාරයක් තිබේ. එය විමසා නිරීක්ෂණය කොට, ආධුනික දේශපාලකයන්ට කියා දීම දැනමුතු කාගේත් යුතුකම වනු ඇත.
රන්ජන් අමරරත්න