Wednesday, July 3, 2024
Home » වසර 28කට පසුව ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනයට පියවර

වසර 28කට පසුව ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනයට පියවර

by chanaka
July 1, 2024 4:52 pm 0 comment

විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලුණු අතර ඊට අදාළ අනුමතිය හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් 2024.06.25 දින පාර්ලිමේන්තුවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම අනුමතිය ලබාදීම සිදුවිය. නීතිපති දෙපාර්තමේන්තුව, තාක්ෂණ අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම රැස්වීමට එක්ව සිටියහ.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය සඳහා 2024 මැයි 10 දින තාක්ෂණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පසුගියදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.

මේ අනුව රැස්වීමට පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට කරමින් අවශ්‍ය සියලු සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. ලොව තාක්ෂණික ප්‍රවණතා සමග මෙම පනත සංශෝධනය වීම කාලීන අවශ්‍යතාවක් බැවින් මීට පෙර අවස්ථා තුනකදී අමාත්‍ය අනුකාරක සභා මගින් මෙම පනත් කෙටුම්පත සංශෝධනය සදහා කටයුතු කළ ද එය ඉටුනොවූ බව ද නිලධාරීහු ‍පැවසූහ.

මේ අනුව මේ වන විට ලොව පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගතව විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම පනත් කෙටුම්පත පිළියෙල කළ බව ද නිලධාරීහු පැවසූහ. මේ අනුව වඩාත් තරඟකාරී වෙළඳපොලක් තුළ පාරිභෝගිකයාට සාධාරණයක් ඉෂ්ට වන නියාමනයක් සඳහා ඉඩප්‍රස්ථාව මෙමගින් සළසා දී ඇත.

විදුලි සංදේශ සංඛ්‍යාත ලබා දීමේදී තරගකාරි ක්‍රමවේදයක් යටතේ යාන්ත්‍රණයක් හදුන්වාදීම මෙමගින් සිදුවන බව ද මෙහිදී අනාවරණය විය. මේ අනුව ඊට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුව මගින් සම්පාදනය කළ යුතු බව ද මේ අනුව නව තාක්ෂණය පහසුවෙන් මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට හදුන්වාදීමට අවස්ථාව උදාවීම මෙන්ම මෙම ව්‍යපාරය සිදුකරන ආයතන මනා ලෙස නියාමනය කිරීමට හැකිවන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

එසේම දැනට පවතින විදුලි සංදේශ පද්ධති බලපත්‍ර සහ සංඛ්‍යාත බලපත්‍ර ලබා දීමට අමතරව තවත් බලපත්‍රවර්ග 3ක් මෙම සංශෝධන හරහා හදුන්වාදීම සිදුවන බව ද මෙහිදී අනාවරණය විය. මේ හරහා විදුලි සංදේශ සේවා සපයන සමාගම්වලට අමතරව යටිතල පහසුකම් සපයන සමගම්වලට ද බලපත්‍ර ලබාදීම සිදුකෙරේ. එසේම මෙම සංශෝධන හරහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලතල ශක්තිමත් වන බවත් නිලධාරීහු පැවසුහ. එසේම ලොව වඩාත් සාධනීය පියවරක් වන වෙළඳපළ තරගකාරීත්වය තුළ ගාස්තු අඩුකිරීමේ වාසිය පාරිභොගිකයාට ලබාදීමට මෙම සංශෝධන හරහා අවස්ථාව ඇති බව ද නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම මුහුදු මාර්ගයේ විදුලි සංදේශ රැහැන්වල ආරක්ෂාව සදහා ද සංශෝධන ඉදිරිපත් කර ඇති බව ද මෙහිදී සාකච්ඡා විය.

කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේ විදුලි සංදේශ තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවින් එම තාක්‍ෂණයෙන් ප්‍රයෝජන ගැනීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට මෙරට නීති සකස් විය යුතු බවයි. එසේම වෙළඳපළ තරගකාරීත්වය තුළ නව තාක්ෂණය හදුන්වාදීමටත් එහි වාසිය පාරිභෝගිකයාට හිමිවීමටත් මෙම සංශෝධන වඩාත් සාධනීය ඉදිරි පියවරක් වනු ඇති බව ද කාරක සභා සභාපතිවරයා සදහන් කළේය. එසේම මෙම පනත රජයේ මුදල් කාරක සභාවේදී සලකා බැලෙන්නේ රාජ්‍ය මුදල් හා සම්බන්ධ කාරණා, වෙළදපොළ තරගකාරීත්වය සහ විනිවිදබව, පාරිභෝගික සාධාරණත්වය ආදිය විමර්ශනය සදහා බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුප පැස්කුවල් සහ ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, හර්ෂණ රාජකරුණා, ප්‍රේම්නාත් සී දොලවත්ත, සහන් ප්‍රදීප් විතාන සහ මධුර විතානගේ යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ. එසේම නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම කාරක සභාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x