‘එක්ව ජය ගමු – අපි මාතර’ මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබූ මේ ජන හමුවට පක්ෂ භේදයකින් තොරව මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.
ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය:
“මට භාර දුන් ටයිටැනික් නැව මා දැන් වරායට ගෙනැවිත් තිබෙනවා. අයිස් කන්දට බිය වී හිටපු කපිතාන්වරුන් සියලු දෙනා පැන ගියා. නැව ගිලිලා අප නැති වෙනවාද, නැති නම් අප වරායට ගමන් කරනවාද කියා තීරණය කිරීමට සිදු වුණා. දැන් අප වරායට පැමිණ තිබෙනවා. අප දැන් මේ නැවට මොකද කරන්නේ? අප නැව ඉදිරි වසර 50ට 100ට සරිලන ලෙස අලුතින් සකස් කරනවාද, නැත්නම් මෙහෙම තිබෙන නැව පැනලා ගිය කපිතාන්වරයකුට භාර දෙනවාද කියා තීරණය කළ යුතුයි.
“අද මා පැමිණෙන විට මේ මාතර ජනතාව විඳි දුක සිහිපත් වුණා. 2022 සිංහල අලුත් අවුරුද්ද මා ගත කළේ මේ කඹුරුපිටියේ ප්‍රදේශයේ. මා නැවතී සිටි හෝටලය ඉදිරිපිට ඉන්ධන පිරිවුම්හලක් තිබුණා. එතන දිගු වාහන පෝලිම් තිබුණා. ජනතාව ආණ්ඩුවට දෝෂාරෝපණය කරමින් ඒ පෝලිම්වල දුක් විඳිනවා මා දුටුවා. එදා මා තීරණය කළා මේ තත්ත්වය නැවත රටේ ඇති වෙන්න ඉඩ දෙන්න බැහැ කියලා. මා ඊට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර තිබුණා; ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර, ඒ පණිවිඩ පිළිබඳ කිහිප වතාවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්වත් කළා. කෙසේ හෝ අවසානයේ මට මේ රට භාර ගැනීමට සිදු වුණා. මා එලෙස රට භාර ගත්තේ ලෝක ඉතිහාසයේ අලුත් ක්‍රමයක් අනුවයි. සියලු දෙනා පැන ගිය අවස්ථාවක මට රට භාර ගැනීමට සිදු වුණා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා ඉල්ලා අස් වූ විට ආණ්ඩු පක්ෂයට එය භාර ගැනීමට නොහැකි නම් විපක්ෂය එය භාරගත යුතුයි. නමුත් මේ සියලු දෙනා පැනලා ගියා. එදා කැඩී ගියේ අපේ ආර්ථික ක්‍රමය පමණක් නොවෙයි, දේශපාලන ක්‍රමයත් කැඩී ගියා.
“මම මේ රටේ ජනාධිපති ධුරය භාර ගත්තා. සියලු දෙනා කිව්වා මෙය සාර්ථක වෙන්නේ නැහැ කියලා. නමුත් මට මේ රටේ ජනතාව ගැන සහ මම ගැන දැඩි විශ්වාසයක් තිබුණා. ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් අපට ආධාර ලබා දුන්නා. මේ අතර 2022 – 2023 යල කන්නය සාර්ථක කර දෙන්න කියලා අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අපට සාර්ථක අස්වැන්නක් ලැබුණා. ඒ අනුව රටේ ජනතාවට පසුගිය සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය, පොසොන් උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට හැකි වුණා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් දකුණේ ජනතාව විශාල සහායක් දුන්නා. අපේ රටට සංචාරකයන් පැමිණීමට පටන් ගත්තා. එවිට අපේ රටට අවශ්‍ය විදේශ විනිමය ලැබුණා. අපි මේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඉදිරියට ගෙන ආවා.
“රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙනවා. ඒ අනුව අපට මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපට ආදායම් උපයා ගැනීමේ නව ක්‍රමවේද අනුගමනය කිරීමට සිදු වුණා. බදු වැඩි කිරීම අසීරු තීරණයක්. එහෙත් අප එම තීරණය ගත්තා. අද රටේ ආර්ථිකය ස්ථාවර වී තිබෙනවා. ඉදිරියේදී සාමාන්‍ය ජනතාවට මේ බදු බර දැරීමට සිදු වන්නේ නැහැ. මේ අතර අපි 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ආරම්භ කර සමෘද්ධිය වගේ තෙගුණයක් ප්රතිලාභ ජනතාවට දුන්නා. ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 16 සිට 24 දක්වා වැඩි කළා. ආර්ථිකය හොඳට තිබූ කාලයේ කිරීමට නොහැකි වූ දේ අපි බංකොලොත් කාලයේ කළා. සිංහල අලුත් අවුරුදු සමයේ ජනතාවට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් දුන්නා. රජයේ සේවකයන්ට රුපියල් දස දහසකින් වැටුප් වැඩි කළා. ඒ වගේම රජයේ ඉඩම්වල ජීවත්වන සියලුදෙනාට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ඉදිරි සතියේදී කොළඹ අඩු ආදායම්ලාභී ජනතාව ජීවත්වන මහල් නිවාසවල අයිතිය එම ජනතාවට ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
“අප බංකොලොත්භාවයෙන් ඉවත් වී සිටිනවා. ඒ අනුව අප ණය කළමනාකරණය කරගනිමින් ඉදිරියට යනවා. එහිදි සහන ගෙන තිබෙනවා. අපේ සම්පුර්ණ ණය දළ දේශීය නිෂ්පාදනයෙන් 108%යි. අපි අපිට ණය ලබාදුන් රටවල් සමඟ සාකච්ඡා කළා. අපිට දැන් ණය ගෙවිමට කාලය ලබාදීමට ඔවුන් එකඟ වි සිටිනවා. 2042 වන තෙක් ණය ගෙවීමට කාලය දී තිබෙනවා; ඒ වගේම ගෙවන ණය ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඒ නිසා අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කරනවා නම් මේ සියලු සහන ගත හැකි බව ඔවුන් දැනුම් දී තිබෙනවා. මේ එකඟතා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපට නිල වශයෙන් ණය දුන් රටවල් හැර අපි පෞද්ගලික අයගෙන් බැඳුම්කරවලින් ණය ගෙන තිබෙනවා. මේ ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු එම බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් අප සමඟ සාකච්ඡා කරනවා. මේ සඳහා මාසයක් වැනි කාලයක් ගත වෙයි කියා මා සිතුවත් මේ වන විට එම කටයුතු සාර්ථකව සිදු වෙනවා. ඒ නිසා ලබන සතිය වන විට මේ කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට හැකි වෙතැයි කියා අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මා රාජ්‍ය මූල්‍ය කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාට දැනුම් දුන්නා මේ ගිවිසුම් තුනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කරමු කියලා. මට කරුණු සියල්ල සඳහන් කිරීමට නොහැකි වුණාට ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපි මේ පිළිබඳ සාකච්ඡා කර රාජ්‍ය මූල්‍ය කමිටුව එය පරීක්ෂා කළ පසු වාර්තාවක් සකස් කර ඡන්දයකට යමු කියා මා දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ පක්ෂ මීට ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.
“ඒ වගේම අප මෙය පිළිගන්නවාද, නැද්ද කියලා ලෝකය දැන ගැනීමට කැමැතියි. කිසියම් පක්ෂයක් ප්‍රකාශ කරනවා නම් මීට වඩා වෙනස් විකල්පයක් තිබෙනවා කියලා ඒ අයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දීමට මා සූදානම්. ඒ අයට අවශ්‍ය ගුවන් බලපත්‍ර සහ නවාතැන් පහසුකම් සඳහා අවශ්‍ය මුදල් ආණ්ඩුවෙන් සලසා දීමට පියවර ගන්නවා. ඔබ ගොස් සාකච්ඡා කරන්න. ඒවා හොඳයි කියා හිතනවා නම් අප ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු.
“එහෙත් අපට තවදුරටත් පැරණි දේශපාලනයේ නිරත වෙන්න බැහැ. අප අද ගන්නා තීරණය අපේ අනාගතයට බලපානවා. අප මෙයින් ඉවත් වුණ හොත් ඉදිරියට යන්නේ කෙසේද? මේ වැඩසටහන හැර අපට අනාගතයත් තිබෙනවාද? නැවත පෝලිම් යුගයකට යන්න පුළුවන්ද? අප මේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. ස්ථිර තීරණයකට එළැඹිය යුතුයි. අප අනාගතයේදී ඉන්ධනවලට මුදල් ගෙවන්නේ කොහොමද? නැවත ණය ගැනීමට අවශ්‍යද? අපි අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට නොගිය හොත් තවත් වසර 15කින් මීට වඩා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා.
“ඒ නිසා අප අපනයන ආර්ථිකයකට යා යුතුයි. අප මේ තීරණ ගන්නේ ඔබ සියලු දෙනා වෙනුවෙන්. අපේ තරුණ පරපුරට නැවත මෙවැනි ආර්ථික අර්බුදයක් උරුම කරනවද, නැත්නම් දියුණු රටක් ලෙස ඉදිරියට යනවාද කියා අප තීරණය කළ යුතුයි. ඒ නිසයි අප රට වෙනුවෙන් එකට වැඩ කරමු කියා මම සෑම දේශපාලන නායකයකුටම කියන්නේ. මේ ඇමැති මණ්ඩලය මොන පක්ෂයටද අයත් වෙන්නේ කියලා අහනවා. මෙතන ඉන්නේ රට වෙනුවෙන් එකතු වුණු අය. පොහොට්ටුවේ සිටි බොහෝ දෙනකුට ඇමැතිකම් නැති වුණා. එහෙත් ඔවුන්ට දැනට එය දීමට මට හැකි වුණේ නැහැ. ඔවුන් ඒ සියල්ල දරාගෙන අද රට වෙනුවෙන් එක් වී සිටිනවා. මෙතන සෑම පක්ෂයක්ම නියෝජනය කරන පිරිස් සිටිනවා. අපට එක පක්ෂයක් නැහැ. අද සියලු දෙනා රට වෙනුවෙන් එකතු වෙලා තිබෙනවා. ඒ නිසා අපි නව දේශපාලන ගමනක් ආරම්භ කර තිබෙනවා. රට පෙරට පක්ෂය ඉන් පසුව. කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළද රට වෙනුවෙන් වැඩ කළ හැකි කණ්ඩායමක් මෙහි සිටිනවා. අප මේ දේශපාලන ක්‍රමය ඉදිරියට ගෙන යා යුතුයි. මේ ගමන ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා පක්ෂ භේදයෙන් තොරව අප සියලු දෙනා ඉදිරියට යමු කියා මම ආරාධනා කරනවා. මා විපක්ෂයට ආරාධනා කරනවා අපත් සමඟ එක් වෙන්න කියලා. අප මේ අලුත් මාර්ගයේ යමු. කොහොමද රට ගොඩනඟන්නේ කියා එවිට මගෙන් ඔබට ඉගෙනගත හැකියි. අප සියලුදෙනා එක් වී මේ නව දේශපාලන ගමන ආරක්ෂා කරගැනීමට කැපවෙමු. අපට අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොවෙයි. අපට තිබෙන්නේ රට පෙරට තබා ඉදිරියට යෑමයි. මේ රටේ ජනතාව විඳි දුක ගැන මම කනගාටු වෙනවා. අප ගත් පියවර ආරක්ෂා කරගනිමින් ඉදිරියට යමු කියා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”
නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා:
“යහපාලන ආණ්ඩු කාලයේ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ‘මහින්ද සුළඟ’ ගෙනල්ලා ආණ්ඩුවක් සකස් කළ ප්‍රසන්න රණතුංග වගේ කෙනෙක් මෙහෙම කියන්නේ ඇයි කියලා ඔබ හිතනවා ඇති. මීට වසර දෙකක කාලයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට වෙනුවෙන් කළ කාර්යභාරය ඔබ සියලු දෙනා අත්දැක්කා. ඒ වගේම මේ රට බංකොලොත්භාවයෙන් මුදාගෙන නිවැරදි ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. තවම ආර්ථික ප්‍රශ්න විසඳී නැහැ. මේ අර්බුදයෙන් රට මුදාගැනීමට නම් අත්දැකීම් තිබෙන අභියෝග භාරගත හැකි නායකයෙක් අවශ්‍යව තිබෙනවා. ඒ සඳහා හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. තවම එතුමා ජනාධිපතිවරණයට එන බව ප්‍රකාශ කර නැහැ. ඒත් මේ ජන රැලි මාලාව මඟින් ජනතාව එතුමා ඉල්ලා සිටිනවා කියන එක මට විශ්වාසයි.”
දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා:
“රටේ ආර්ථිකය වගේම ජනතාව වෙනුවෙන් කටයුතු කරන නායකයෙක් අපට අවශ්‍යයි. කවුරු මොන දේ කිවුවත් මේ ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ වැරදුණහොත් වසරක් යෑමට පෙර යළිත් රටේ අර්බුදයක් ඇති වීම වැළැක්විය නොහැකියි. ඒ නිසා අප සියලු දෙනා නැවත වරක් ගිලෙන්නේ නැතිව එක්ව ඉදිරියට යා යුතුයි. ඒ සඳහා පළපුරුදු, දැක්මක් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි.”
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා:
“මා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සමඟ එක්ව ජන හමුවක් අමතන පළමු අවස්ථාව මෙයයි. ජාතික ආරක්ෂාව කියන්නේ සීමා බෙදා බේරාගැනීම නොවෙයි. රටක් ලෙස රටවලින් යැපීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීම ජාතික ආරක්ෂාවේ මුල් කටයුත්තයි. එය නියමාකාරයෙන් කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වුණා. එතුමාගෙ දක්ෂතාව ගැන එක් උදාහරණයක් කියන්නම්. පසුගිය දවසක බංගලාදේශයේ අගමැතිතුමිය මට හමුවුණා. අමෙරිකානු ඩොලර් 200ක ණය මුදල ශ්‍රී ලංකාව ආපසු ගෙවනු ඇති බව කිසිවිටක හිතුවෙ නෑ කියා එතුමිය කිවුවා. මේ සියල්ල සිදු කළේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්ම නිසයි.”
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නයක මහතා:
“රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගතය වෙනුවෙන් අසීරු නමුත් වැදගත් තීන්දු තීරණ ගත්තා. මේ රටේ පැවැති බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත්තා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව වැටුණු තැනින් රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. ආණ්ඩු මාරු වන විට වෙනස් නොවන ප්‍රතිපත්තියක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා ඍජු නායකත්වයක් අවශ්‍යයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය අද කටයුතු කරන්නේ පළමුව මේ රටේ ආර්ථිකය කඩිනමින් සකස් කිරීමටයි. ඒ සඳහා සහාය දැක්වීමට මෙසේ පෙළ ගැසීම මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අගය කළ යුතුයි.”
සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා:
“ශ්‍රී ලංකාව කියන නැව මුහුදේ කුණාටුවකට හසු වී බේරාගන්න කිසිම කපිතාන් කෙනෙක් දිරිපත් නොවූ වෙලාවෙදි රනිල් වික්‍රමසිංහ කියන කපිතාන්වරයාට ඒ නැව භාරගෙන නිරුපද්‍රිතව වරායට ගෙන ඒමට හැකි වුණා. දැන් මේ තියෙන්නේ ඉදිරි වසර පහ සඳහා නැවත මුහුදට දියත් කිරීමේ වෙලාවයි. එම නැවේ කපිතාන් තනතුර නැවත රනිල් වික්‍රමසිංහ මහතාටම දීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ කළගුණ සැලකීම වෙනුවෙන් ඔබ බලාගෙන සිටිනවා. ජනතාව නිවැරදි වෙලාවෙදි නිවැරදි තීන්දු ගත යුතුයි. ඒ නිසා ඉදිරි වසර පහ සඳහා රට රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීම ඔබට බාරයි.”
කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතා:
“ඔබට මතක ඇති එදා අපේ රට වෙනුවෙන් ගත් ණය ගෙවාගත නොහැකිව අසරණභාවයට පත් වුණා. අද ඒ රටේ ආර්ථිකය යහපත් මට්ටමකට ඇවිත් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගාත්මක අවස්ථාවේ මේ රට භාර නොගත්තානම් අද රටේ තත්ත්වය සිතාගත නොහැකියි. රටේත් රටේ ජනතාවගේත් වාසනාවට එතුමා ඒ අභියෝගයට බයේ පැන ගියේ නැහැ. රටට නිවැරදි නායකත්වයක් ලැබුණේ ඒ නිසයි. අද රට පුරා පෝලිම් දකින්න නැත්තේ ඒ නිසයි. එදා ඉන්ධන, ඖෂධ, ගෑස් පෝලිම්වල පැය ගණන් ගත කළ තත්ත්වය අමතක කරන්න දෙන්න හොඳ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවන්න අපට අද මේ තත්ත්වයෙන් නැඟිටින්න ලැබෙන්නේ නැති බව අමතක නොකළ යුතුයි.”
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා:
“කයියනායකලා, ජෝකර්ලා බේරගන්න බෑ කියපු මේ රට, රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් ඇතුළත ආර්ථික බංකොලොත්භාවයෙන් මුදාගැනීමට කටයුතු කළා. දුක්විඳපු ජනතාව සුවපත් කිරීමට එතුමා කොන්දේසි විරහිතව කටයුතු කළා. එදා විදේශගත ශ්‍රමිකයන් විසින් අවුරුද්දකට එවනු ලැබූ ඩොලර් මිලියන 220, වර්තමානය වන විට මාසයකට ඩොලර් මිලියන 700ක් දක්වා පමණ ඉහළ ගොස් තිබෙනවා. එදා 73%ක්ව පැවති උද්ධමනය අද වන විට තනි ඉලක්කමට ගෙනැවිත් තිබෙනවා. රු. 4,500ක්ව පැවැති ගෑස් සිලින්ඩරය අද රුපියල් 2,982ක් දක්වාත්, එදා රු. 660ක් වූ පරිප්පු කිලෝව රු. 360 දක්වාත් අඩු වී තිබෙනවා. පසුගිය කාලයේ මැතිවරණ පැවැත්වූයේ ආගම රට බේරා ගැනීමටයි. ඒත් මෙවර මැතිවරණය පවත්වන්නේ ඔබ ඔබවම බේරාගැනීම සඳහායි. මෙවර ඔබ ගන්නා තීරණය වැරදුණොත් ඔබ බේරාගැනීමට කවුරුවත් ඉදිරිපත් වෙන එකක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට නැවත රට භාර දෙමු.”
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා:
“ඉදිරි මැතිවරණවලදී කතාවට පමණක් සීමා වූ නායකයන් පත් කර නොගත යුතුයි. අපේ අනාගතය ශක්තිමත් කළ හැකි නායකයෙක් අවශ්‍යයි. අප මේ රට ඉදිරියට ගෙනයෑමට එතුමාට සහාය නොදුන්නා නම් අද රටේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඉදිරියේදීත් අප ජනතාවට සහන දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. මේ රටට අවශ්‍ය බෙදන හෝ කයිවාරු ගහන නායකයන් නෙවෙයි. මේ රටට අවශ්‍ය ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක්. එවැනි නායකත්වයක් අද රටට ලැබී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සෙ, එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි; පොදු ජන පෙරමුණේ මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානම් බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.”
මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන්, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ඇමැති ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය ඇමැතිවරුන් වන රෝහණ දිසානායක, කනක හේරත්, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන, ප්‍රේමනාත් සී.දොළවත්ත, වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහත්වරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහ අතිවිශාල ජනතාවක් ජන හමුවට එක්ව සිටියහ.