දෙස් විදෙස් ණය කන්ද ආපසු ගෙවීමට නොහැකිව බංකොලොත් වූ රාජ්‍යයක් ලෙස නම් කළ අප රට මේ වන විට එයින් මිදී යාන්තමින් හුස්ම ගනිමින් සිටියි. එක්සත් ජනපද ඩොලර් බිලියන 100ක් තරම් වූ ණය කන්ද ආපසු ගෙවීම කෙටි කලකට නතර කරගැනීමට ආණ්ඩුව මේ වන විට පියවර ගෙන ඇත. ඉන්පසු වසර 2028 සිට ණය සහ වාරික ගෙවා දමමින් ඉදිරියට යෑමට හැකි ලෙස වැඩපිළිවෙළක් සකස් කරගැනීමට වත්මන් ආණ්ඩුව මේ වන විට සමත්වී ඇත. එය සුළුපටු ජයග්‍රහණයක් නොවේ. ඒ සඳහා ආණ්ඩුව අනුගමනය කළ වැඩපිළිවෙළ ඇතැම් විට ඉතා අභියෝගාත්මක, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති මාලාවක් විය. එයට පක්ෂ – විපක්ෂ බොහෝ පිරිසකගේ අවලාද, උසුළු විසුළු කිරීම් ද හිමි විය. මේ කිසිවකටත් නොබියව ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අද දවසේ යම් ජයග්‍රහණයකට රට යොමු කර ඇත.
ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ දේශීය ණය ප්‍රශස්තිකරණය සාර්ථකව මේ වන විට සිදු කොට ඇත. ඒ පිළිබඳව හෙටත් (02) අනිද්දාත් (03) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පක්ෂ – විපක්ෂ වාද විවාද කිරීම සිදුවේ. මෙය එය පිළිබඳව මෙරට සිටින බුද්ධිමත්, ආර්ථික, සමාජ, දේශපාලන විද්වත් පිරිසගේ මතය විමසා බැලීමෙන් අනතුරුව තැබෙන සටහනකි.
****
දිගුකාලීන දැක්මක්-අනාගතය ගැන සුබවාදී වැඩපිළිවෙළක්
සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න (හිටපු අංශාධිපති ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය කොළඹ විශ්වවිද්‍යාලය )
“අපේ රට මුහුණ දුන් ප්‍රධානම අභියෝගය තමයි ගත් දෙස් විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි වීම. මේ ප්‍රශ්නය අපේ රට දැවැන්ත අගාධයකට තල්ලු කළා. ආර්ථික වශයෙන් අප බිඳ වැටුණා. මෙයට පිළිතුරක් සොයා ගැනීම පාලකයන්, බලධාරීන් මුහුණ දුන් දැවැන්තම අභියෝගයක් වුණා.
ඒ අතරවාරයේ තමයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට පියවර ගත්තේ. 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මාස 48ක ණය පහසුකම් දීමට තීන්දු කළා. ඒ අනුව මේ වන විට වාරික දෙකක් ලැබී තිබෙනවා. එක්සත් ජනපද ඩොලර් බිලියනයකට අධික මුදලක් දැනටත් ලැබී තිබෙනවා. ඒ අතරේ ශ්‍රී ලංකාව ගෙවිය යුතු දේශීය ණය ආපසු ගෙවීමට සහන වැඩපිළිවෙළක් සකස් කළා. මේ අවස්ථාවේදී ද්වි-පාර්ශ්වීය විදේශීය ණය ආපසු ගෙවීමට සහන වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. අපට වැඩි වශයෙන් විදේශීය ණය පහසුකම් දී තිබෙන ඉන්දියාව, චීනය, ජපානය සහ පැරිස් සමාජය අතර ණය ප්‍රතිව්‍යූහගතකරණයට ගිවිසුම් එළැඹ තිබෙනවා.
දැන් අපට ණය ආපසු ගෙවීමට වසර තුනක සහන කාලයක්, අඩු පොලී අනුපාතකයක් ලැබීම තුළ සහන හිමිවී තිබෙනවා. නමුත් අපට දිගින් දිගටම මේ සහන තුළම සිටිය නොහැකියි. අපි රටක් ලෙස කළ යුත්තේ කුමක්ද? ගැඹුරින් කල්පනා කර බැලිය යුතු අවස්ථාවක් දැන් උදාවී තිබෙන්නේ.
අපගේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. සමහර රටවල මේ ප්‍රමාණය ඩොලර් මිලියන, බිලියන 100, 200, 300 ඉක්මවා යනවා. අපට තවදුරටත් ඩොලර් බිලියන 12ක අපනයන ආදායමක් තුළ රැඳී සිටීමට බෑ. අපත් වේගවත් ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගනිමින් ඉහළ ආදායම් ලැබීමට කටයුතු කළ යුතුයි. මේ අවස්ථාවේ අපේ රටේ පාලකයන් දේශපාලන පක්ෂ නායකයන්, වෘත්තීය සමිති නායකයන්, සමාජයේ සියලු පුරවැසියන් වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතුයි. අප රටක් ලෙස, ජනතාවක් ලෙස කඹ ඇඳීමෙන් මිදිය යුතුය.
ඉදිරි අවුරුදු පහ තුළ අප ණය ආපසු ගෙවීමට සමත් රටක්, ජාතියක් බවට පත්විය යුතුයි. ඒ සඳහා දිගුකාලීන දැක්මක් සහ අනාගතය පිළිබඳව සුබවාදී වැඩපිළිවෙළක් සමඟ ඒකාත්මිය විය යුතුයි. අපට වඩාත් වැදගත් වන්නේ ණය ගෙවීමට හැකි ආකාරයේ ශක්තිමත් විදේශ විනිමය ඉපැයීමක් ළඟා කරගැනීමයි. මෙහිදී හැකි තරම් අපනයන ආදායම වැඩි කරගැනීමට අමතරව විදේශ විනිමය ලැබීම් ඉහළ නංවන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. අපගේ ඊළඟ ඉලක්කය පුද්ගල කේන්ද්‍රීය ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබාගෙන තිබෙන ණය ප්රතිව්යූහකරණය කිරීමයි. එය ලබන මාසයේදී සාකච්ඡා කිරීමට නියමිතයි. එයත් සාර්ථක වුවහොත් අපට විශාල වාසි ලැබෙනවා. ඒ හරහාත් අපගේ ඉදිරි ණය ගෙවීම පිළිබඳව සහන සලසාගැනීමට හැකිය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මේ වන විට දෙස් විදෙස් ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 100යි. එය විශාල මුදලක් මේ ණය ඇතුළු අනෙකුත් ලබා ගන්නා ණය සාර්ථක ලෙස ආපසු ගෙවීමට හැකි ණය තිරසරභාවයක් ඇති කරගැනීමට අප රටක් ලෙස කටයුතු කළ යුතුමයි.”
****
IMF සමඟ විස්තීර්ණ ණය පහසුකමකට එළඹීම විශාල ශක්තියක්
රවීන්ද්‍ර ගයනාත් ද සිල්වා (සංක්‍රමණික කටයුතු පිළිබඳ ජාත්‍යන්තර උපදේශක)
“ද්වි-පාර්ශ්වික විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සාර්ථකව හැකි වූයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ගොඩනඟා ගත් විශ්වාසය මතයි. මෙලෙස ජාත්‍යන්තරය දිනා ගැනීමට අපට හැකිවීම රටක් ලෙස අප ලැබූ විශාල ජයක්.
ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන දෙස් විදෙස් ණය ආපසු ගෙවීමට අපහසු නිසා අප මේ මොහොතේ කළ යුත්තේ ඒ සඳහා සහන ලබා ගැනීමයි. එය ඉබේ සිදුවන්නක් නොවේ. තවදුරටත් අනුන් මත සිටීමට නොහැකි අප ඉදිරියට වඩාත් ඉහළ විදේශ විනිමය උපයන ශ්‍රමිකයන් පිරිසක් පිටරට යැවීමට පියවර ගතයුතුයි. ඒ සඳහා අප විදේශගත ශ්‍රමිකයන්ගේ වෘත්තීය නිපුණතාව ඉහළ නැංවිය යුතුයි. ඔවුන්ට වෘත්තීය පුහුණුවට අමතරව විදේශීය භාෂා පිළිබඳව දැනුම ලබා දිය යුතුයි. විදේශීය භාෂා පුහුණුව තිබේ නම් ඔවුන්ට විදේශ රැකියාවල වැඩි අවස්ථා තිබෙනවා. ලැබෙන විදේශීය විනිමය ප්‍රමාණය ද වැඩියි. ඉහළ වැටුප් ලබන ලොව පිළිගන්නා රැකියා අවස්ථා සඳහා අපේ පිරිස් වැඩි වශයෙන් යැවීමට අප කටයුතු කළ යුතුයි.
අපේ රටේ තරුණ තරුණියන් වැඩි වශයෙන් උසස් අධ්‍යාපනයට යොමු කර රැකියා ඉලක්ක කර අධ්‍යාපනයක් දී වෘත්තීයවේදීන් ලෙස පිටරට යවන්නේ නම් දැනට වඩා ඉහළ ආදායමක් ලබාගත හැකියි. මේ සඳහා රජය, පෞද්ගලික අංශය එකට ඒකාබද්ධව ජාතික වැඩපිළිවෙළක් හඳුන්වාදී ක්‍රියාත්මක කළ යුතුය. උදාහරණයක් ලෙස අප දැනටමත් දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා අපේ රටේ තරුණ තරුණියන් මේ ආකාරයට යොමු කිරීමට පියවර ගෙන තිබුණා.
වත්මන් රජය ඒ සඳහා විශේෂ උනන්දුවක් දක්වනවා. විශේෂයෙන් තරුණ තරුණියන්ට අවශ්‍ය භාෂා දැනුම සහ වෘත්තීය දැනුම ලබාදීමට වැය වන මුදල් සපුරා ගැනීමට සමෘද්ධි බැංකු හරහා ණය යෝජනා ක්‍රමයක් ඇරඹීමට පවා තීන්දු කර තිබෙනවා. ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස ඊට වැඩි සැලකිල්ලක් දක්වා තිබෙනවා.
විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශය, සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය ඇතුළු ආයතන ගණනාවක් මේ වැඩපිළිවෙළ සඳහා එකතුවී තිබෙනවා. එවැනි පොදු අරමුණක් ජයගන්නා අලුතින් සිතන නිර්මාණාත්මක වැඩසටහන් තුළින් රටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීමට අප කාටත් හැකියාව ලැබෙනවා.”
****
ලැබෙන ණය නිසි ලෙස යෙදවීමෙන් ආර්ථිකයේ පිබිදීමක්
නවාස් රජාබ්දීන් – සභාපති – ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සම්මේලනය
“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කොන්දේසි යටතේ ණය වැඩසටහනකට මුල පුරා තිබෙනවා. මේ මුල පිරීමත් සමඟ අපට නැවත ජාත්‍යන්තරව වෙනත් ආයතනවලින් පවා අරමුදල් පහසුකම් ගැනීමට, සේවා ගැනීමට ඉඩ ලැබී තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව මෑතකදී එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක සහන ණයක් දුන්නා. මෙය දුන්නේ මෙරට ව්‍යවසායකත්වය දියුණු කිරීමටයි. එම බැංකුවෙන් ලැබුණ මුදල් අනිවාර්යයෙන්ම අපේ රටේ ගම්බදව, අර්ධ නාගරිකව ජීවත්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ලැබිය යුතුමයි. ඔවුන් අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි.
මෙලෙස ලැබෙන ණය මුදල් නිසි ලෙස අපේ රටේ අලුත් ව්‍යවසායකයන්ට හා කර්මාන්තකරුවන්ට ලැබෙන්නේ නම් ඔවුන්ගේ අත මිට සරු වෙනවා. ඒ සමඟ ආර්ථිකයේ පිබිදීමක් සිදු වෙනවා. ආර්ථිකය පිබිදෙන විට රජයේ ආදායම් ඉහළ යනවා. රජයේ ආදායම් ඉහළ යන විට රජයට කළ හැකි වියදම් ඉහළ යනවා. සංවර්ධන වැඩ, සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, මහාමාර්ග, වාරිමාර්ග, ජලසම්පාදන, විදුලි බල, නිවාස මේ ආදී සියලු සංවර්ධන වැඩ වේගවත් කිරීමට වැඩි මුදලක් ආයෝජනය කිරීමට රජයට හැකි වෙනවා. ආර්ථිකය වේගවත්ව සංවර්ධනය වන විට ඒ හරහා ලැබෙන ආදායමෙන් අපට ගෙවිය යුතු ණය ගෙවීමට පහසු වෙනවා.”
****
ණය ප්‍රතිව්‍යූහගතකරණය රටක් ලෙස අප ලැබූ ජයක්
මහාචාර්ය රමීෂ් අබුබකර් (උපකුලපති අග්නිදිග විශ්වවිද්‍යාලය)
“ශ්‍රී ලංකාව දෙස් විදෙස් ණය ආපසු ගෙවීමට නොහැකි බංකොලොත් රටක් බවට පත්වෙලා සිටියේ. මීට අවුරුදු දෙක තුනකට පෙර අපේ රටේ ආර්ථික අර්බුදය උග්‍ර වුණා. මේ අවස්ථාව සමහරු හැඳින්වූයේ නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී සිටිනවා කියලයි.
අප ලබාගෙන තිබූ අධික ණය ගෙවීමට නොහැකි වුණා. ඒ වගේම එදිනෙදා අවශ්‍ය වියදම් පියවා ගැනීමටත් විදේශ විනිමය නැති වුණා. ඒ අවස්ථාවේ රට අකර්මණ්‍ය වුණා. ආර්ථිකය ඇන හිටියා. සමාජ ප්‍රශ්න මතු වුණා. මේ වෙලාවේදී රට ආර්ථික වශයෙන් බල ගැන්වීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබුණා. ඒ සඳහා තිබූ හොඳම විකල්පය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම.
ඔවුන් සමඟ ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ගොඩ ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළා. අප දහ හත් වන වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ගත්තා. ඒ අනුව පළමුව දේශීය ණය ප්‍රශස්තකරණයට ලක් කළා. දෙවනුව ද්වි-පාර්ශ්වීය විදේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට ලක් කළා. ඒ තමයි මෑතකදීම කළ දේ. ඒ අනුව පැරිස් සමාජය, ඉන්දියාව, ජපානය, චීනය ආදී ද්වි-පාර්ශ්වීය ණය ප්රතිව්යූහකරණයට ලක් කළා. ඒ රටක් ලෙස අප ලැබූ ජයක්.
මෙතැනදී සිදු වන්නේ මේ වසරේ ගෙවිය යුතු විදේශීය ද්වි-පාර්ශ්වීය ණය ආපසු ගෙවීමට වසර තුනක කාලයක් සහනයක් ලැබීමයි. ඊට අමතරව පොලී අනුපාත ද අඩුවී තිබෙනවා. මේ සහන නිසා අපට ණය ආපසු ගෙවීමට නම් නිදහසක් ලැබී තිබෙනවා. මේ සමඟ ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට සරණක් ලැබී තිබෙනවා. අප රට පිළිබඳව ජාත්‍යන්තර පිළිගැනීම ඉහළටම නැංවී තිබෙනවා. ඒ නිසා නැවතත් ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් හා වෙනත් මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ගැනීමට අවස්ථාවක් උදාවී තිබෙනවා. ණය ආපසු ගෙවීම කල් දමා තිබෙන නිසා රටට මුදල් කෙටි කාලයකට ඉතිරි වෙනවා. මේ ඉතිරි වෙන මුදල් දැනට වැඩ නවතා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට යොදා ගත යුතුයි.
අපේ රටේ සංචාරක කර්මාන්තය, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ලැබෙන ප්‍රේෂණ ආදායම් ඉහළට ඔසවා ගැනීමට වෘත්තීයවේදීන් ලෙස බොහෝ පිරිසක් විදේශගත කිරීමට අප කටයුතු කළ යුතුයි. කවුරුත් අමාරුයැයි කියූ මොහොතක ආර්ථික වශයෙන් රට ගොඩනැඟීමට අඩිතාලම දැමූ ජනාධිපතිතුමාටත්, ආණ්ඩුවටත් අපේ ප්‍රසාදය පළ කරන්න කැමැතියි.”
****
විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණයේ වාසිය රටටත් ජනතාවටත් හිමි විය යුතුයි
හේමකුමාර ගුණසේකර (මහලේකම් (ශ්‍රී ලංකාව) ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය)
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සම්පූර්ණ වාසිය අප රටටත්, ජනතාවටත් හිමි විය යුතුයි. මේ වැඩපිළිවෙළින් කිසි වාසියක් නැතැයි ඇතැම් පිරිසක් කියනවා. නමුත් එය පිළිගැනීමට බෑ. ණය ආපසු ගෙවීම කල්දැමීම, පොලී ප්‍රතිශත අඩු කිරීම රටට වාසියි. මේ නිසා ණය ගෙවීමට තිබෙන මුදල් රටේ සංවර්ධන වැඩවලට යොදා ගත හැකියි. මේ තුළින් ජනතාවට ආර්ථික දියුණුව ඇති කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට හැකියි. එය පොදුවේ ගත් විට කාටත් වාසියක්. අප අපනයන ආදායම් වැඩි කරගැනීමට කටයුතු කළ යුතුයි. ඒවා පිළිබඳ වාද භේද නැතිව සියලු දේශපාලන පක්ෂ නායකයන් එක් මතයක සිට කටයුතු කළ යුතුයි.
තවත් ඉතා වැදගත් කරුණක් තමයි අපි රටක් ලෙස රාජ්‍ය මූල්‍ය කටයුතු වඩාත් විනයානුකූලව, විද්‍යාත්මකව පවත්වා ගත යුතුයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉතාමත්ම ඉහළ විධිමත් ක්‍රමවේ
දයක් අනුව සකස් කර ගත යුතුයි. දැඩි රාජ්‍ය මූල්‍ය විනයක් ඔස්සේ රජයේ වියදම් මනාව කළමනාකරණය විය යුතුයි.
****
දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න IMF අත්වැලක් වුණා
ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා (බටහිර ඉන්දීය කොදෙව් ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය
“මීට වසර දෙක තුනකට පෙර අපේ රට ඉතාම දරුණු අගාධයකට වැටිලයි තිබුණේ. අපේ රට ණය ආපසු ගෙවා ගත නොහැකි බංකොලොත් රටක් බවට පත්වෙලයි තිබුණේ.
අපේ ප්‍රධානම, වැදගත්ම දේ වුණේ මේ ඉතා දරුණු අගාධයෙන් ගොඩඒමයි. ඒ සඳහායි අප කල්පනා කර කර හිටියේ. නමුත් එය එකවර ක්ෂණිකව කළ නොහැකියි. එහිදී අපි වහාම විසඳුම්වලට යා යුතුම තිබුණා. ඒ අවස්ථාවේ අපට තිබූ එකම විද්‍යාත්මක තාර්කික විසඳුම වුණේ IMF යෑමයි. නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමක් ගැනීමයි. එය අප මීට පෙරත් කර තිබූ දෙයක්. මෙවර අපි ගියේ 17 වැනි වතාවටයි.
රට ණය බරින් මුදා ගන්න අපට විශාල ලෙස අපේ ආදායම් වැඩි කර ගන්න ඕනෑ. ඒ සඳහා කාලයක් යනවා. නමුත් අපට රටක් ලෙස එදිනෙදා ජන ජීවිතය පවත්වාගෙන යෑමටත් ප්‍රශ්න මතුවී තිබුණා. එවන් අවධියක අපි IMF එකෙන් ණයක් ගන්න ගියා. එහිදී විවිධ කොන්දේසිවලට යටත් වෙන්න වෙනවා. අපි ඒවා අපට වාසි ආකාරයකට ගළපා ගත යුතුයි. IMF ගිවිසුම් අප ඵලදායි ලෙස යොදාගත යුතුයි.
IMF ගිය එක ඔක්කොම ගැටලුවලට විසඳුම නොවෙන්න පුළුවන්. නමුත් මීට වසර දෙකකට තුනකට කලින් තිබූ දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට එය අපට අත්වැලක්, පාලමක් වුණා.
රට ණය බරින් නිදහස් කර ගන්න කවුරුත් කටයුතු කළ යුතුයි. ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයක් නෑ. නායකයන්, සියලුදෙනාම පාර්ලිමේන්තුවේ 225ම එසේ සිතිය යුතුයි. දැන් අපේ රට යම් තරමකට ආගාධයෙන් ගොඩඒමට ආර්ථිකය මුල පුරා තිබෙනවා.
ආණ්ඩුව, සමගි බලවේගය, ජාතික ජන බලවේග IMF ගැන විවිධ මත දරනවා. නමුත් එහි සෑම දෙයක්ම ප්‍රතික්ෂේප කරන්න කාටවත් බෑ. එසේ නම් මේ මොහොතේ සියලු දෙනා එක්ව කළ යුත්තේ ඒ වැඩපිළිවෙළ වඩාත් ඵලදායි එකක් බවට පත් කරගැනීමයි.
මම ජාත්‍යන්තර උදාහරණ දෙකක් ගන්නම්. අමෙරිකාවේ උග්‍ර ණය බර ප්‍රශ්නයක් ආවා. ඔවුන්ට ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයක් ආවා. එදා එහි සිටි රිපබ්ලිකන් ඩිමොක්ක්රටික් පක්ෂ නායකයන් එකට එකතුව එදා එම ප්‍රශ්නයෙන් ඔවුන්ගේ රට බේරාගැනීමට කටයුතු කළා. අපේ රටේ නායකයනුත් ඒ ආදර්ශය ගත යුතුයි.
ඉන්දියාවේ මේ වගේ ණය බර ප්‍රශ්නයක් ආවා. එදා ඉන්දියාවේ හිටපු ආචාර්ය මන්මෝහන්සිං අගමැතිතුමයි විපක්ෂයයි එකට එකතුවී රට ණය බරින් මුදාගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.
ඒ අනුව හෙට (02) සහ අනිද්දා (03) අපේ රටේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ ගැන වාද විවාද කිරීම, කථිකා කිරීම වැදගත්. මේ සංවාදය තුළ වඩාත්ම වටින ගැළපෙන වැඩපිළිවෙළක් මතු කරගැනීමට අවස්ථාව උදා කර ගන්න ඕනෑ. ඒ නිසා ප්රජාතන්ත්රවාදී රටක පවතින උතුම් ගුණයක්. එවැනි රටක් සමාජයක් දියුණුයි. අපේ පාර්ලිමේන්තුවට ඒ ආදර්ශය රටට දෙන්න දැන් අවස්ථාව ලැබී තිබෙනවා.”
****
අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා යොමු විය යුතුයි
ධම්මික සමරවික්‍රම (උපදේශක – කර්මාන්ත අමාත්‍යාංශය ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්)
“ශ්‍රී ලංකාව වඩාත් වේගවත්ව ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීමට පියවර ගතයුතුයි. එක දිගට කාර්තු හයක් තිස්සේ ඍණ ආර්ථික අගයන් වාර්තා කළ ශ්‍රී ලංකාව මේ වන විට ධන ආර්ථික වර්ධනයක් කරා පිවිස සිටිනවා. එය සුබවාදී ගමනක ආරම්භයයි. නමුත් අපි අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා වහාම යොමු විය යුතුයි.
නිදහසින් පසු ශ්‍රී ලංකාව වේගවත් ආර්ථික වර්ධනයක් කරා පිය නැඟීමට උත්සාහ දරා සිටිනවා. සමහර අවස්ථාවල සාර්ථකවී තිබෙනවා. පසුබැස තිබෙනවා. වසර 2022දී අපට සිදු වූ ආර්ථික කඩා වැටීම තුළ අප පාඩමක් ඉගෙනගත යුතුය. නැවතත් එවැන්නක් ඇති නොවන්නට වග බලා ගත යුතුයි.
මේ අවස්ථාවේදී ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම ඉතා වැදගත්. ඒ වගේම සතුටට හේතුවක්. නමුත් ඒ තුළ අපට ඉදිරියට යෑමක් නෑ. තවදුරටත් එක එක්කෙනාගෙන් මුදල් ලබාගෙන ණයට කාබී ජීවත්වීමට අපට නොහැකියි. අප ස්වෝත්සාහයෙන් නැඟී සිටිය යුතුයි. දේශීය කර්මාන්තකරණයක් වගේම සේවා සැපයීමේ විශාල ආදායම් උපයා ගැනීමක් වෙත අප යොමු විය යුතුයි. ඒ සඳහා කළ යුතු එකම දේ අපගේ ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීමයි.
අපේ රටේ දැනට ව්‍යවසායකත්වය ජනගහණයෙන් 2.8%.යි එය ඉතා අඩු අගයක්. අඩුම තරමින් වසර 2030දී එය 10% දක්වා වැඩිදියුණු කළ යුතුයි. අපගේ ව්‍යවසායකත්වය ගම් මට්ටමින් පිබිදිය යුතුය. ප්‍රාදේශීය, පළාත්, ජාතික මට්ටම දිනා ගන්නා නව ව්‍යවසායකයන් කර්මාන්තකරුවන් බිහි කළ යුතුය. එපමණක් නොවෙයි ඔවුන් ජාත්‍යන්තරය දිනා ගන්නා තැනට පත්කළ යුතුයි. එසේ කළොත් අපට ඉදිරියේදී අභිමානවත් රටක්, ජාතියක් ලෙස ගොඩනැඟීමට හැකියි.”