සංචාරක වීසා මඟින් මෙරටට පැමිණ නීති විරෝධී ලෙස සංවිධානාත්මකව අන්තර්ජාලය ඔස්සේ විවිධ ජාවාරම්වල නිරතව සිටි විදේශිකයන් 205 දෙනෙක් ගෙවීගිය සතිය තුළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොච්චිකඩේ පොලිසිය සමත්ව තිබේ.
මේ අතර වැඩි දෙනෙක් ඉන්දියානුවන් වන අතර එම ගණන 136ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. මෙම ඉන්දියානුවන් කොච්චිකඩේ සහ බත්තරමුල්ල ආශ්රිතව අත්අඩංගුවට ගෙන ඇත. 20/20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්කරගෙන ඔවුන් අන්තර් ජාලය ඔස්සේ ඔට්ටු සූදුවේ ද නිරතව සිට ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙම වැටලීම් මාලාවේ ආසන්නතම වැටලීම සිදුවන්නේ පසුගිය 28 දින රාත්‍රියේ මීගමුව, කුඩාපාඩුව ප්රදේශයේදීය. සංචාරක වීසා මගින් පැමිණි චීන ජාතිකයන් පිරිසක් එම ප්රදේශයේ හෝටලයක රැඳී සිටිමින් ක්‍රිප්ටෝ කරන්සි ජාවාරම සිදුකර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයේ කරන ලද වැටලීමේ දී චීන ජාතික කතුන් තිදෙනක් සහ චීන ජාතිකයන් තිස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම පරිගණක, දුරකතන විශාල ප්රමාණයක් එම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ. සංචාරක විසා මඟින් පැමිණ මාස දෙකක පමණ කාලයක් එම හෝටල් සංකීර්ණයේ කොටසක් කුලී පදනම මත ලබා ගනිමින් ඔවුන් මෙම ජාවාරමේ නිරතව සිට ඇත. ඇතැම් චීන ජාතිකයන් සතුව විදෙස් ගමන් බලපත්ර ද තිබී නැත.
මීට පෙර ඉකුත් 27 දින බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ කොච්චිකඩේ උප ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පලඟතුරෙයි ප්රදේශයේ පිහිටි සොලියුෂන් ප්රයිවට් ලිමිටඩ් යන නමින් පවත්වාගෙන ගිය අන්තර්ජාලයෙන් මුදල් ජාවාරම් කරන ස්ථානයක් වැටලීය. 20/20 ලෝක කුසලාන තරගාවලියේ තරග සඳහා ඔට්ටු අල්ලා ඇත්තේ මෙම ස්ථානයෙනි.
එම වැටලීමේදී ඉන්දියානු ජාතිකයන් 37 දෙනකු අත්තඩංගුවට ගත් අතර මොවුන් සතුව තිබී පරිගණක 67ක් සහ තවත් උපකරණ තොගයක් ද සොයා ගත් අතර මෙම වැටලීම කොච්චිකඩේ පොලිසිය විසින් සිදුකරන ලදි. මෙම වැටලීමෙන් අනතුරුව බත්තරමුල්ල ඇතුළු තවත් ස්ථාන කිහිපයක වැටලීම් කිහිපයක් සිදුකර තිබේ. මෙම වැටලීම්වලින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දියානු ජාතිකයන් ගණන 136කි.
පසුගිය 24 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව ප්රදේශයේ ඒ ජේ විලා සහ රිච් විලා සංචාරක ස්ථානවල වැටලීමක් සිදුකර ඇති අතර එහි ශ්‍රී ලංකිකයන් දෙදෙනෙක් ඇතුළු 33 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ද ක්‍රිප්ටෝ කරන්සි ජාවාරමේ යෙදී ඇත. ඔවුන් අතර පාකිස්ථානු ජාතිකයන් 21ක් නේපාල ජාතිකයන් 02ක්, ඇල්ජීරියානුවන් 02ක්, ඉන්දියානුවන් 02ක් බංග්ලාදේශ ජාතිකයන් 01ක් මාලදිවයින් ජාතිකයෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සිට ඇත.
මෙම ස්ථානවල පරිපාලන කටයුතු සිදුකර ඇත්තේ චීන ජාතිකයන් විසිනි. එය සිදුකළ චීන ජාතික කාන්තාව සහ පිරිමි පුද්ගලයන් දෙදෙනා පසුගිය 26 දින රටින් පිටවීමට උත්සාහ ගනිද්දී ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තව දුරටත් මෙවැනි ජාවාරම් සිදුවේදැයි යන්න පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් සිදුකරමින් සිටී.
උපාලි කරුණාරත්න, කටාන - බර්ටි වීරසිංහ, කොච්චිකඩේ - ඩී. මිහිදුකුල