රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් සිය ගමන් මලු තුළ සඟවාගෙන හරිත මාවත (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යෑමට තැත් කළ ගුවන් මඟියකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු වන සැකකරු සෑම මාසයකටම 3-4 වතාවක් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන්වල යෙදුණු පුද්ගලයෙකි.
සාමාන්‍යයෙන් ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, රුසියාව වැනි රටවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මඟීන් එතරම් දැඩි පරීක්ෂා කිරීමකට ලක් නොකෙරෙති. කෙසේ වෙතත් මොහු පිළිබඳ ඇති වූ සැකය මත නවතා අහඹු ලෙස පරීක්ෂා කිරීමේදී මේ ස්වර්ණාභරණ තොගය සොයාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. ඔහු රැගෙන ආ ගමන් මලු තුළ වූ ග්‍රෑම් 995ක් බරැති මාල 2ක්, අත් පලඳනාවක් සහ මුද්දක් රේගු නිලධාරීන් විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. රේගු නිලධාරීහු මේ ගුවන් මඟියා අත්අඩංගුවේ තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
කටුනායක - ටී.කේ.ජී. කපිල